දිනසේන රතුගමගේ –
යාපනයේ චාවාකච්චේරී ඇතුලු ප්‍රදේශ කීපයක ගොයමේ සිටි පිට සුදු තණ පෙත්තාගේ හානිය මන්නාරම හා වවුනියාව පළාත් වල කුඹුරු වලටද ව්‍යාප්ත වී තිබේ.
මෙම කෘමියාගේ පැතිරීම නිසා මේ වන විට යාපනයේ කුඹුරු අක්කර 22000 ක් පමණ විනාශයට පත්ව ඇති අතර එම කෘමියා මර්දනය කිරීමට ගොවීන්ට උපදෙස් ලබා දීම පිණිස කොළඹ සිට කෘමි විශේෂඥයින් පිරිසක් යාපනයට පැමිණ සිටිති.
යාපනය දිසාපති කාර්යාලයේදීද මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවති අතර යාපනයේ ගොවි සංවිධාන නියෝජිතයන් එහිදී කියා සිටියේ වර්ෂාවත් සමගම එම හානිය වැඩි වී ඇති බවයි.
කොළඹ සිට යාපනයට පැමිණි කෘමි විශේෂඥයින් අදාල කුඹුරු වෙත ගොස් එම කෘමියා සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා කෘමියාගේ හා ගොයම් වල සාම්පල එකතු කරගෙන කෘමියා මර්දනය කිරීම පිණිස ගොවීන්ට උපදෙස් ලබා දී තිබේ.
මන්නාරම කෘෂිකර්ම සහකාර අධ්යක්ෂවරයා සඳහන් කළේ මේ වන විට මන්නාරමට එම කෘමියාගේ හානිය ළගා වීම නිසා මන්නාරමේ කුඹුරු අක්කර 7000 ක් පමණ විනාශ වී ගොස් ඇති බවය.
වවුනියාවේ කුඹුරු අක්කර 3000 ක් පමණද මෙම කෘමියාගේ හානිය නිසා විනාශයට පත්ව ඇත.
කෙසේ වෙතත් ගොවීන් ප්‍රකාශ කරන්නේ මෙම කෘමියා මර්දනය කිරීමට කෘෂි නිලධාරීන් විසින් නිර්දේශ කරණු ලබන කිසිදු කෘෂි රසායන ද්‍රව්‍යයකට එම කෘමියා මර්දනය නොවන බවයි.
මේ අතර වාරයේ මෙහෙක් හඳුණා නොගත් දළඹුවකුගෙන්ද උතුරේ වී වගාවට හානි පැමිණ ඇති අතර එම දළඹුවා බොහෝ කෘෂි රසායන ද්‍රව්‍යවලින් විනාශ කොට මර්දනය කිරීමට ගොවීන්ට හැකියාව ලැබී තිබේ.







