දිනසේන රතුගමගේ
උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට ගිය අවුරුදු අටක් වයස පාසල් දැරියගේ අතක් කපා ඉවත් කිරීමේ සිද්ධිය සිදුව ඇත්තේ එම වාට්ටුවේ සේවය කළ හෙදියගේ වරදින් බවට තොරතුරු හෙළිවීමත් සමගම 6 දා යාපනය ශික්ෂණ රෝහල තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබුණි.
එම රෝහලට ගිය දැරියගේ ඥාතීන් හා ස්වේච්ඡා සංවිධාන කීපයක නියෝජිතයෝ වහාම ඒ සම්බන්ධයෙන් වූ කමිටු වාර්තාව එළි දක්වන ලෙස රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
එම දැරියගේ අත කපා ඉවත් කිරීමට සිදු වූයේ ජනනි රමේෂ් නැමති හෙදියගේ වැරදි ක්‍රියා කලාපය හා ඇය විසින් වැරදි ලෙස එන්නතක් ලබා දීම නිසා බවට තොරතුරු අනාවරණය වී ඇතත් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් පත් කරන ලද ද්විපුද්ගල කමිටු වාර්තාවේ නිර්දේශයන් ප්‍රකාශයට පත් නොකිරීම නිසා යාපනය ශික්ෂණ රෝහල තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබේ.
එම හෙදිය විසින් මීට ඉහතදීද රෝගීන්ට වැරදි ඖෂධ හා එන්නත් ලබා දී ඇති බවටත් රෝගීන්ට කිසිදු සැලකිල්ලකින් තොරව හා අමානුෂීය අන්දමට සැලකීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ඉදිරිපත් වූ හෙදියක් බවට යාපනයේ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයෝ කියා සිටියහ.
මේ අතර උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාටද චෝදනා ඉදිරිපත් කරන එම සංවිධාන වල නියෝජිතයෝ කියා සිටිනේ ඔහු සෑම අවස්ථාවකම පරීක්ෂණ සඳහා කමිටු පත් කිරීම පුරුද්දක් කරගෙන එම වාර්තා එළියට නොදමා වෛද්‍ය ක්ෂේත්රයේ පිරිස් බේරා ගැනීමට කටයුතු කරන බවයි.