ලලිත් චාමින්ද –
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුව විසින් උසස් වර්ගයේ එළුවන් අභිජනනයකොට ගොවින්ට හා ගොවිපලවලට බෙදාහැරිමේ අරමුණින් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලැබු පිරිමි හා ගැහැණු එළුවන් 100 දෙනාගෙන් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂ, තිස් දෙදහස්, නමසිය තිස් අටක් වටිනා (11,532,938) සතුන් 31 දෙනෙකු මියගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
රුපියල් තුන්කෝටි හතලිස්නම ලක්ෂ, අසු තුන්දහස් හයසිය තිහක් වැය කර (34,983,630) බෝයර් වර්ගයට අයත් එළුවන්ගෙන් පිරිමි සතුන් 10 දෙනෙකු හා ගැහැණු සතුන් 90 දෙනෙකු 2019 වර්ෂයේ අප්‍රේල් මාසයේ දි මෙරටට ආනයනය කොට තිබුණි.
ආනයනය කොට තිබු එළුවන් අතුරින් පිරිමි එළුවන් 06 දෙනෙකු සහ ගැහැණු එළුවන් 25 දෙනෙකු රට තුළ පරිසර තත්ත්ව වලට අනුවර්තනය නොවිම හේතුවෙන් 2022 ඔක්තෝබර් මස 13 වැනිදින වනවිට මියගොස් සිටි බවද විගණන වාර්තාවේ සදහන් වේ.
සතුන්ගේ පාරම්පාරික සංවේදි පැවැත්මට සුදුසු මට්ටම තක්සේරු නොකර සතුන් ආනයනය කොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙම සතුන් ගාල්කොට තැබීම තුළින් ආනයනික ගැහැණු සතුන් 04 දෙනෙකු දිර්ඝ කාලින රෝගාබාධවලට ලක් වී ඇති අතර විවිධ වෛරස් ආසාදනයෙන් පෙලෙන සතුන් 33ක්ද අපේක්ෂා නොකළ රෝග වාහකයින්ට ගොදුරු වි තිබුණි.
මෙසේ ආනයනය කොට තිබු එළුවන්ගෙන් 2022 වර්ෂය අවසන් වන විට ක්ෂේත්රයට මුදාහැර තිබුණේ සතුන් 29 දෙනෙකු බැවින් ව්‍යාපෘතියේ අරමුණු ඉටුකරගැනිමට නොහැකිවි ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ පිළිබද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන්කොට ඇත්තේ ආනයනික සතුන් රටතුළ පරිසර තත්ත්වලට අනුවර්තනය වන අවස්ථාවේ දි මෙවැනි සතුන් මිය යාම අපේක්ෂිත තත්වයක් බවය.