දිනසේන රතුගමගේ –
යතුරු පැදි වලින් පැමිණි තරුණයින් පිරිසක් ඊයේ (09) සවස බුද්ධි අංශ නිලධාරියෙකුව කඩු වලින් කපන්නට ගොස් ඊට අවකාශ නොලැබුණ තැන ඔහුට පහර දී පලා ගොස් තිබේ.
යතුරු පැදි වල නැගුණු තරුණයින් පිරිසක් කඩු තුනක්ද රැගෙන වවුනියාවේ යංග් ස්ටාර් ක්රීඩාංගණය අසලදී තරුණයෙකුව කඩු වලින් කැපීමට උත්සහ කළ අවස්ථාවේදී රාජකාරී කටයුත්තක් සදහා එම ස්ථානයට ගොස් සිටි වවුනියාවේ බුද්ධි අංශ නිලධාරියෙකු එම කඩු ප්රහාරය වැළක්වීමට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේදී තරුණයින් පිරිස එම නිලධාරියාව කඩු වලින් කපා දැමීමට උත්සහ කොට තිබේ.
තමන් බුද්ධි අංශ නිලධාරියෙකු බව කඩු අතැතිව සිටි තරුණයින්ට එම නිලධාරියා විසින් පැවසීමෙන් පසුව ඔහුට පහර දී තරුණයින් පිරිස යතුරු පැදි වල නැගී පලා ගොස් තිබේ.
මෙම සිද්ධිය වූ ස්ථානයට යාබදව විශාල පෞද්ගලික උපකාරක පන්තියක් ඇති අතර ළමුන් රැගෙන යාමට පැමිණ සිටි දෙමව්පියන් විශාල පිරිසක් බලා සිටියදී මෙම කඩු රැගත් පිරිස එම ස්ථානයට පැමිණ තිබේ.
මේ සම්බන්ධයෙන් වවුනියාව පොලීසියට තොරතුරු ලැබීමෙන් පසුව යතුරු පැදි වලින් පැමිණී තරුණයින්ව අත් අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් දියත් කොට තිබේ.