ජයකාන්ත ලියනගේ – බළපිටිය
අම්බලන්ගොඩ ප්‍රධාන පෙලේ ජාතික පාසලක්වන අම්බලන්තොට ධර්මාශෝක විද්‍යාලයේ උසස් පෙළ පන්ති සඳහා මෙවර සිසුන් ඇතුළත් කර ගැනීමට නියමිත එක් දරුවකුගෙන් රුපියල් 30,000/- කට ආසන්න මුදලක් ගෙවීමට ඔවුන්ගේ දෙමාපියන්ට සිදුව ඇතැයි වාර්තා වේ.
මේ නිසාම බොහෝ දෙමාපියන් දැඩි අපහසුතාවයකට ලක්වී ඇති බවත් මෙසේ මුදල් එකතු කිරීම අධ්‍යාපන චක්‍රලේඛන බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවත් මේ සම්බන්ධව අදහස් දැක්වූ දෙමව්පියෝ ලංකාසරට පැවසූහ.
මෙම මුදලින් රුපියල් 7920/- ක් පාසල් සංවර්ධන ගිණුමට බැර කරන ලද බවට ලද රිසිට්පතක් ලැබෙන බවත් ඉතිරි මුදල් අම්බන්ගොඩ නගරයේ පෞද්ගලික බැංකු ගිණුම් අංකයක් ලබා දී එම ගිණුම් අංකයට බැරකර රිසිට්පත පාසලෙන් ලබා දෙන දුරකථන අංකයට වට්ස්ඇප් මගින් යොමු කළ යුතු බවට පාසලෙන් උපදෙස් ලබා දී තිබෙන බවත් මෙම ගැටලුවට මුහුණ දුන් දෙමාපියෝ ප්‍රකාශ කරති.
මෙම පාසලේ උසස් පෙළ අධ්‍යාපනය සඳහා ග්‍රාමීය පාසල්වලින් ඉහළ ලෙස සාමාන්‍ය පෙළ සමත් දරුවන් විශාල වශයෙන් පැමිණෙති. මෙම දරුවන්ගේ බොහෝ දෙමාපියන් ඉතා අසරණ දුප්පත් අය බව වාර්තා වේ. පාසලට ඇතුළත්වීම සඳහා මෙතරම් ඉහළ මුදලක් ඇතුළත් වීමේ ගාස්තු සඳහා ගෙවීමට සිදු වීම මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් ඇතිකිරීමට හේතු වී ඇති බව දැනගන්නට ඇත.
මෙම මුදල ගෙවීමට නොහැකි නම් වෙනත් පාසලක් තෝරා ගන්නා ලෙස පාසල් ගුරුවරුන්, දෙමාපියන්ට හා දරුවන්ට ප්‍රකාශ කරන බවත් දෙමාපියන් ප්‍රකාශ කරති.
ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යා හා ගණිත, කලා, වාණිජ හා තාක්ෂණවේදී අංශය සදහා දරුවන් 100 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් කරගෙන තිබේ.
ඩෙස්පුටු සඳහා රුපියල් 11,000/- ක්, ශ්‍රවණාගාරයේ විදුලි පංකා අලුත්වැඩියා සඳහා රුපියල් 4000/- ක්, රසායනාගාර පහසුකම් සඳහා රුපියල් 2100/-ක්, සේවා හා පහසුකම් ගාස්තු හා පාසැල් සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් 7920/- ක් ද දරුවන්ගේ පංති අලුත්වැඩියාව සඳහා රු 2000/- බැගින් ද එක් දරුවකු වෙනුවෙන් වසර දෙකක් සඳහා ගෙවීමට සිදු වූ බවද පාසලට දරුවන් ඇතුළත් කල මව්පියෝ සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක ජාතික පාසලේ විදුහල්පතිනිය වන සනුජා ජයවික්‍රමගෙන් අප කළ විමසීමේ දී පැවසුවේ දරුවන්ගේ සේවා පහසුකම් හා පාසැල් සංවර්ධ සමිතියට වසර දෙකකට රු 7920/- ක මුදලක් අය කරන බවත් ඒ සඳහා රිසිට් පතක් පාසලෙන් නිකුත් කරන බවත්ය.
ඔය කියන පෞද්ගලික ගිණුමක් සඳහා තවත් මුදල් බැර කිරීමක් සම්බන්ධව කියන කතා ප්‍රතික්ෂේප කරන බවත්ය.
බැංකු ගිණුම් අංකය හා අදාල බැංකුවේ තොරතුරු ලබා දී ඒ සම්බන්ධයෙන් විදුහල්පතිනියගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කළේ පාසලේ නම මෙන්ම තමන්ගේ තනතුර උපයෝගී කරගෙන වෙනත් අය මෙසේ මුදල් එකතුකරනවා ද කියා තමා නොදන්නා බවත් එවන් තත්ත්වයක් ඇත්නම් වහාම එය විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමට කටයුතු කරන බවත්ය.







