සදෙව් රත්නායක –
ක්‍රීඩා ක්ෂේත්රයේ අධ්‍යාපන මට්ටමින් ලැබිය හැකි ඉහළම සුදුසුකම් සපුරා ගත් පළමු ක්‍රීඩිකාව බවට පත්වීමට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩිකා ශ්‍රීපාලී වීරක්කොඩි සමත් වූවාය. ඇය පසුගියදා ඔස්ට්‍රේලියාවේ දී ඔස්ට්‍රේලියානු යෝග්‍යතා අධ්‍යයන ආයතනයේ දී Master and Fitness Trainer පාඨමාලාව සම්පූර්ණ කරමින් මෙම උපාධියට හිමිකම් කීමට සමත්වූවාය.
රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩිකාවක වන 34 හැවිරිදි ශ්‍රීපාලී වසර 16ක් ජාතික පිලට ක්‍රීඩා කළ අතර 2018 වසරේ දි බටහිර ඉන්දීය කොදෙව් හී පැවැති විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ක්‍රීඩාවෙන් සමු ගත්තාය. ඉන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා යොමුවූ ශ්‍රීපාලී මාස 8ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටිමින් එම උපාධිය හැදෑරුවාය.
ශාරිරික යෝග්‍යතා පුහුණුකාරිනියක ලෙස උපාධිය සම්පූර්ණ කිරිමෙන් පසුව යළි දිවයිනට පැමිණි ශ්‍රීපාලී මේ වනවිට ශාරිරික යෝග්‍යතා සහ යෝගි ව්‍යායාම සම්බන්ධ විශේෂඥවරියක ලෙස කටයුතු කරන අතර ඇයගේ සුදුසුකම් අනුව ජාතික තලයේ හෝ ජාත්‍යන්තර තලයේ ඕනෑම කණ්ඩායමක් පුහුණුකිරිමේ හැකියාව තිබේ.
වමත් පිතිකාරිනියක ලෙසත්, දකුණත් මඳවේග පන්දු යවන්නියක ලෙසත් ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් එක්දින තරග 89කදී ලකුණු 722ක් රැස් කරමින් කඩුලු 58ක් දවාලූ ඇය විස්සයි20 තරග 58කට ක්‍රීඩා කරමින් ලකුණු 209ක් රැස් කිරිමට සහ කඩුලු 31ක් දවාලීමට සමත්වූවාය.