හමුදා බුද්ධි අංශ සහ විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ මෙහෙයුමකදී කෝටි 21කට අධික වීදි වටිනාකමක් සහිත හෙරොයින් කිලෝග්‍රෑම් 7ක් ( 6 ග්‍රෑම් 910 මිලිග්‍රෑම් 500) සහ මෙතම්ෆෙටමින් ( අයිස්) කිලෝග්‍රෑම් 1ක් ( කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 17ක්) සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පිළියන්දලදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා”ගේ සහ ඔහු සමග සමීප සම්බන්ධනා පවත්වන ලබන “ආමි චූටි” නමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයින් දෙදෙනෙක් බව විමර්ශන අංශ කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි ඕමල්පගේ ධම්මික සමන් කුමාර සහ 53 හැවිරිදි කංකානම් ආරච්චිගේ සුජීව නැමැති පුද්ගලයින් දෙදෙනෙකි. එහිදී ඔවුන් සතුව තිබූ යතුරුපැදියක් හා ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත. යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග එක්ව පිළියන්දල ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.







