පවතින අරගලකාරී තත්ත්වය හමුවේ ජනතාවට වෙඩි තැබිය නොහැකි බවත් නිර්මාණය වී ඇති අර්බුදය දේශපාලනික මට්ටමෙන් විසඳා ගැනීම වඩාත් සුදුසු බවටත් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ පොලිස්පතිවරයා අගමැතිවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
අද දහවල් මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය විරෝධතාකරුවන් විසින් වැටලූ අවස්ථාවේ දී එය පාලනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගමැතිවරයා සහ කථානායකවරයා මෙම හමුදා ප්‍රධානීන් හමුවී ඇති අතර එහිදී කැරළි මර්දන පනතේ ප්‍රතිපාදන පිළිබදවද කරුණු පහදා දෙමින් මෙම අර්බුදය විසඳා ගැනීම දේශපාලන මට්ටමින් පියවර ගැනීම සුදුසු බවට යෝජනා කර ඇති අතර මේ සඳහා කථානායකවරයාද සිය එකඟත්වය පළ කර අද දිනයේදිම පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇත.
මෙම හමුවෙන් පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී , ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා මාධ්‍යයට ප්‍රකාශයක්ද ඒකාබද්ධව නිකුත් කළ අතර එහිදීද ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම අර්බුදය හමුවේ දේශපාලනික ව ගත යුතු පියවර පිළිබඳව හමුදා නායකයන් සහ පොලිස්පතිවරයා කතා නායකවරයා දැනුවත් කළ බවත් ඒ අනුව අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳව තීරණයක් ගනු ඇතිබවටත් විශ්වාසය පළ කළේය.
පවතින තත්ත්වය හමුවේ රටේ සමස්ත ජනතාවට සාමකාමීව කටයුතු කරන ලෙසත් රටේ සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහය දෙන ලෙසත් ඉල්ලීමක් ද කළේය.







