හක්කපටස් ආහාරයට ගත් වන අලියෙකුගේ මුඛය දැඩි ලෙස තුවාල වීමෙන් පසු ආහාර ලබා ගැනීමට නොහැකිව මියගොස් වැලිකන්ද මුතුගල වෙල්යායේ වැටී සිටියදී අද (10 ) උදෑසන සොයා ගත් බව වැලිකන්ද වනජීවි නිලධාරීහු සඳහන් කරති.
මීට දින කිහිපයකට පෙරදී එම වන අලියා දඩයම් කරුවන් විසින්ම වන සතුන් දඩයම් කිරීමට අටවන හක්කපටස් නමැති ආහාර ලබාගෙන හක්ක ප්‍රදේශය දැඩි ලෙස තුවාල වී ඇති බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන වැලිකන්ද වනජීවි නිලධාරින් සඳහන් කරයි.
මියගොස් වැටී සිටින එම වන අලියා අවුරුදු 15 ත්, 18 ත් අතර වයසේ පසුවන බවත්, ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු 10 වෙනිදා වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි ඇතුළු වනජීවි නිලධාරි කණ්ඩායමක් විසින් පරීක්‍ෂණ සිදුකිරීමට නියමිත බවත් වැලිකන්ද අඩවි ආරක්ෂක සී.ඒ. වනසිංහ අප කළ විමසීමේදී සඳහන් කළේය.







