මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව සිරිපුර බාල පොහොර වංචාවට සම්බන්ධව කෝටිපති වංචාකරුවා වසර ගණනාවක සිට ඔහුගේ නිවසට, මත්පැන් හලට හා බාල පොහොර සකසන ව්‍යාපාරයට විදුලිය සහ ජලය රැගෙන ඇත්තේ හොරට බව අදාළ ආයතනවලින් පැමිණිලි ලැබී ඇතැයි සිරිපුර පොලිසිය පවසයි.
අදාළ ව්‍යාපාරිකයා වසර එක හමාරක් තිස්සේ තම සේවා ස්ථානයට සහ නිවසට නීති විරෝධි අයුරින් න් විදුලිය ලබාගෙන ඇති බවට විදුලි බල මණ්ඩලයේ පුද්ගලයකු පැමිණිල්ලක් සිදුකර ඇතැයි පොලිසිය කියයි.
දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සිරිපුර ජල යෝජනා ක්‍රමයෙන් සිය ව්‍යාපාරික ස්ථානයට ජලය ලබාගෙන ඇත්තේ , මීටරයට පිටින් සවි කරගත් ජල සබඳතාවයකින් බව සිරිපුර ජල යෝජනා ක්රමයේ ස්ථාන භාර නිලධාරි අරවින්ද ප්‍රසන්න බණ්ඩාර විසින් ද සිරිපුර පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ.
සභාවට ලැබුණු පැමිණිල්ලක් අනුව දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම් එන්.කේ.එස්.පී නාරංගොඩ, දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ ජල ව්‍යාපෘති විෂය භාර නිලධාරී ඩී.ඩී. අජන්ත කුමාර අද සිදුකළ සොයා බැලීමක දී මේ සොරකම තහවුරු කරගෙන ඇත.
මෙම පුද්ගලයාට විරුද්ධව නඩු පැවරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව විෂයභාර නිලධාරි ඩී.ඩී අජන්ත කුමාර අප කළ විමසීමකදී සඳහන් කළේය.
දිඹුලාගල ප්‍රාදේශිය සභාව මගින් සහ විදුලි බල මණ්ඩලය මගින් ඉදිරිපත් කර ඇති පැමිණිලි අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව සිරිපුර පොලිස් ස්ථානාධිපති ජී.ආර්.ජී නෙත්තසූරිය මධ්‍යයට කීවේය.
මේ අතර ජාවාරම්කරුට අයත් බව කියන තවත් බාල පොහොර පටවා ගත් ලොරියක් දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ සඟවා තිබ්යදි අද සවස දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
මීට අමතරව සිරිපුර පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා එක්ව අද සවස සිදුකළ මෙහෙයුමක බාල පොහොර ජාවාරම්කරුගේ ගෙවත්තේ තිබී වේලපු ගංජා ගස් සීයක් සහ වායූ රයිෆලයක් සොයා ගෙන ඇත. මේ වනවිට ජාවාරම්කරු ඉන්නේ සැඟවී පලා ගොස්ය.







