-
අගතියට පත් වෛද්‍යවරයා කොල්ලකරුවන් හඳුනා ගනී… සිවු දෙනාම රක්ෂිත බන්ධනාගාරයට…
බම්බලපිටිය සම්බාන මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයෙකු නිරුවත් කර ඔහුගේ නිරුවත වීඩියෝගත කිරීමෙන් පසු බිය ගන්වා රුපියල් දස ලක්ෂ පහළොස් දහසක් කොල්ල කෑ බව කියන සිද්ධියේ සැකකරුවන් සිව් දෙනා පැමිණිලිකරු විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දී අද (12) හඳුනා ගත්තේය.
හඳුනා ගැනීමේ පෙරටුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ පැවති අතර සැකකරුවන් සිව් දෙනා ලබන 18දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .
සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි කියන ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාව සහ ඇයගේ සැමියා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද නියෝග කළේය මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වනු ලබන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාව සහ ඇයගේ සැමියා වන ඇතුලත් මුදලිගේ චමින්ද පුෂ්පකුමාර යන සැකකරුවන්ය.
රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ සුධාරක දේවප්‍රිය, මොහොමඩ් සාදිප් යුෂුප්, රාජපක්ෂගේ අශේන් හසරංග, දිමුතු එරංග යන සැකකරුවන් සිව් දෙනාය. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ලද වෛද්‍යවරයෙකු කරන ලද පැමිණිල්ලක් අනුව බම්බලපිටිය පොලිසිය ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.
ජාවාරම්කරුවන් විසින් කොල්ල කන මුදල් එම අවස්ථාවේදීම ගල්කිස්ස ලිපිනයේ පදිංචි ජන අරගල සංවිධානයේ මන්ත්‍රී ධූර අපේක්ෂිකාවක් වූ සැකකාරියගේ බැංකු ගිණුමට බැර කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව බම්බලපිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
අන්තර්ජාල යෙදවුමක් හරහා (ඇප් එකක්) බම්බලපිටියේ කුලියට ගත් නිවසක් තුළ මෙම සම්බාන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත්, අන්තර්ජාලය යෙදූම ඔස්සේ වේලාවන් වෙන්කරගෙන සේවා සපයා ගැනීමට එම ස්ථානයට පැමිණි වෛද්‍යවරයා බිය ගන්වා රුපියල් ලක්ෂ දහයක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ කොල්ලකෑම සහ සන්තකයේ තිබූ රුපියල් 15000 මුදලක් කොල්ලකෑම සිදු කළ සැකකරුවන් හතර දෙනාට අනුබල දීම සම්බන්ධයෙන් මෙම අපේක්ෂිකාව සහ සැමියා අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය සැකකරුවන් දෙදෙනකුට ඇප නියම කර සෙසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර විමර්ශන ප්‍රගතිය ලබන 18 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය. ( ලංකාදීප )







