ගාලු මුවදොර ප්රහාරයට සම්බන්ධ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්රනාන්දු, සීතාවකපුර ප්රාදේශීය සභා සභාපති ජයන්ත රෝහණ, කැළණිය ප්රාදේශීය සභා සාමාජික මංජුල ප්රසන්න හා ඩෑන් ප්රියසාද් නැමැත්තා සීඅයිඩීය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට කොල්ලුපිටිය හා ගාලු මුවදොරට එල්ල කළ ප්රහාරයන් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්රශ්න කරගෙන යනු ලබයි. පසුගිය නම වැනිදා ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ ට එල්ල වූ ප්රහාර සම්බන්ධයෙන් සැකපිට මන්ත්රීවරුන් ඇතුළු 22 ක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පෙරේදා සිදු කළ ලිඛිත දැනුම් දීමට අනුව ඊයේ සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක යන මන්ත්රීවරුන් අත්අඩංගුවට ගනු ලැබිණි.
අද දින පොහොට්ටුවේ මන්ත්රීවරුන් හය දෙනෙකුගෙන් ප්රකාශ ලබා ගැනීමට සීඅයිඩී කණ්ඩායම් පහක් පාර්ලිමේන්තුවට යෑමට නියමිතය. සාමකාමී උද්ඝෝෂකයින්ට පහර දී රටම ගිනි තැබීමේ අපරාධය සැලසුම් කිරීම, පෙළඹවීම හා එම විනාශය වැළැක්වීමට පොලීසියට ඉඩ ලබා නොදීම ඔවුන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා වේ.







