කීර්ති ප්‍රනාන්දු –
සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය මාර්ගය අසල කසල ගොඩක දමා ගොස් තිබූ ගමන් බෑගයකින් හමුවන කාන්තා මළ සිරුර හඳුනාගත නොහැකි සේ නරක් වී ඇතැයි සපුගස්කන්ද පොලිස් ආරංචි මාර්ග පවසයි.
බියගම මාකොළ පාරේ වී මෝල හන්දියට මීටර 200ක් පමණ දුරින් පිහිටි කුණු ගොඩකට මීට දින කීපයකට පෙර මේ මළ සිරුර සහිත ගමන් බෑගය දමා ගොස් ඇතැයි පොලිසිය සැක කරයි.
ගමන් බෑගය ප්ලාස්ටීක් පැදුරකින් ඔතා කුණුගොඩ විසිකර තිබී ඇත. දින දෙකක පමණ සිට මෙම ස්ථානයෙන් අධික දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය කළ විමර්ශනයක දී මෙම මළසිරුර හමුවී තිබේ.

මෙම මල සිරුරේ අත්පා ගැටගසා ඇති අතර ඝාතනය ලක් වූ කාන්තාව වයස අවුරුදු 35 – 40 අයකුගේ බවට පොලිසිය සැකකරයි.
ඇය රතුපාට ගවුමක් ඇඳ ඇතැයි ද පොලිසිය කියයි..
මරණකාරිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් මේ වන විට එම ස්ථානය කැළණීය කොට්ඨාස අපරාධ විමර්ශන නිළධාරීන් විසින් පරීක්ෂාවට ලක්කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව කීවේය.

අද සවස ස්ථානීය පරීක්ෂාවක් සඳහා පැමිණි මහර වැඩ බලන මහේස්ත්‍රාත් රමණි සිරිවර්ධන මල සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කරන ලෙසත් සැක කරුවන් අත්අඩංගුව ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කරන ලෙසත් නියෝග කළාය.







