කීර්ති ප්‍රනාන්දු –
වේයන්ගොඩ කොට්ටල පාරේ ප්‍රධාන උත්සව ශාලාවක පසුගිය 26 දා පැවැත්වූ මගුල් ගෙදරකට සහභාගී වුණු 250කට ආසන්න පිරිසක් අතරින් දැනට පුද්ගලයින් 53ක් කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇතැයි මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර පවසයි.
මනමාලයා ඇතුළු මෙම පුද්ගලයන් 53දෙනාම මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බවත් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවත් සෞඛ්‍ය අංශ පවසයි.
මේ වනවිට අඹන්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි මනමාලියගේ ඥාතීන් ඇතුළු 250කට ආසන්න පුද්ගලයින් පිරිසක් පවුල් පිටින් නිරෝධායනයට ලක් කර තිබේ.
නිරෝධායනයට ලක් කළ පිරිස අතර ඡායාරූප ශිල්පී කණ්ඩායම, සංගීත කණ්ඩායම, හෝටල් සේවක මණ්ඩලය ඇතුලු විශාල පිරිසක් වේ. නයිවල ආශ්‍රිතව ඊයේ කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ 97කින් 33ක් ආසාදිතයන් බව තහවුරු වීමත් ඉන් 12ක් මෙම මගුල් ගෙදරට සම්බන්ධ පිරිස වීමත් සමග සෞඛ්‍ය අංශවල අවධානය වැඩි වශයෙන් ඊට යොමුව ඇත්තේ ඉන් කොවිඩ් පොකුරක් නිර්මාණය වෙමින් ඇති ලක්ෂණ පහළ වී ඇති නිසා බව පැවසේ.
නයිවල ආශ්‍රිතව කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලදී 11 දෙනෙක් නයිවල පිහිටි ඇඟළුම් කම්හලෙන් වාර්තා විය. ඒ මින් පෙර වාර්තා වූ කොවිඩ් ආසාදිත සේවිකාවකගේ ආශ්‍රිතයන් ය.
අවධානය යොමු විය යුතු කාරණාව ලෙස සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මෙතැන හමුවූ ආසාදිතයන් 10කු ගේ නිශ්චිත ආශ්‍රිතයන් සොයා ගැනීමට නොහැකි වීම බවය. ඔවුන් නගරමට පැමිණි විට මෙම පරීක්ෂණය කරන බව දැනගෙන ඊට ස්වෙච්ඡාවෙන් එක් වූවන්ය.







