පවතින ආණ්ඩුවේ කිසිදු කිසිම ඇමතිධුරයක් දැරීමට තමා සූදානම් නොමැති බවත් රටට නව හැරවුමක් අවශ්‍ය මේ මොහොතේ තමාගේ හා පිරිසගේ දැනුම කුසලතාවය හා කැපවීම බාධාවකින් තොරව රටට ලබා දීම සඳහා සමඟි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන වීමට තීරණය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ පාඨලී චම්පික විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය. මින් පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දුන් බව ද ඔහු සඳහන් කළේය.
2020 මාර්තු 18 වැනිදා ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව සමගි ජනබලවේගයට එක් වූ බවත් ස්වාධීන වීම ද එම අවබෝධතා ගිවිසුමේ හරයට අනුකූල බව ඔහු පැවසීය.
සාම්ප්‍රදායික දේශපාලනය සාම්ප්‍රදායික නායකයින් සාම්ප්‍රදායික වැඩසටහන් මෙන්ම මජර පවුල්වාද, ජන දුක වෙනුවනේ කම්පනයක් නැති ප්‍රායෝගික නොවන ව්‍යාජ ප්‍රකාශ ද ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බවත් තවමත් බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ වැටහීමක් නැති බවත් ඔහු සිය ප්‍රකාශයේදී සඳහන් කළේය.
“රටේ දේශපාලන පක්ෂ අතර තිබෙන පටු බල අරගලය නවත්වා මේ මහා ජාතික අපදාවට සාමූහිකව මුහුණ දිය යුතුයි. එය කළ හැක්කේ පොදු අවම වැඩපිළිවෙලක් සහිත තාවකාලික සර්වපාක්ෂික හා අන්තර්කාලීන ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමෙන්. අපි පසුගිය දා රට මුහුණපා තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන මාර්ගයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කළා. එයට විශාල සාධනීය ප්‍රතිචාරයන් ලැබෙනවා. රටක විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ වගකීම වන්නේ ද වචනෙයන් ඔබ්බට ගිහින් විකල්ප සූදානම් කිරීම බව මා අවංකව විශ්වාස කරනවා.. මහා මැතිවරණයේ දී මා හට ඡන්දය දුන් ජනතාවගේ දේශපාලන අභිලාෂයන් කිසි විටෙක පාවාදීමට මා කටයුතු කරන්නේ නෑ…”
පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.







