කීර්ති ප්‍රනාන්දු –
සෑම මනු කියවන්නෙක්ම දැනුම්වත් කිරීමේ නියෝජිතයෙක් බවට පත් කර මේ සිදුවෙමින් ඇති අනතුර සම්බන්ධව රටේ සෑම පුරවැසියෙක්ම දැනුම්වත් කරමින් ජනතා සහයෝගය ලබාගෙන මිස විදුලි වැඩවර්ජනයක් සඳහා ගමන් නොකරන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ලංකාසරට පැවසීය.
මේ වනවිට කිරිපිටි නැති නිසා උදෑසන කිරි වීදුරුව වර්ජනය කළ, සීනි මිල නිසා ප්ලේන්ටිය වර්ජනය කළ ජනතාව හාල් පොලිම්වල , ඩීසල් පොලිම්වල , කිරිපිටි පෝලිම්වල සිට මතුකරන ආණ්ඩු විරෝධය විදුලි වර්ජනයක් කර වෙන අතකට හැරවීමට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි ඔහු කීවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේෙ තෙල්, වරාය සහ විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය රටේ සියලුම වෘත්තීය ක්රියාකාරියන් හා එක්ව දැවැන්ත වර්ජනයක් සඳහා සූදානම් වන බව කළ ප්‍රකාශයෙන් අනතුරුව එම වර්ජනය ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි අප කළ විමසුමට පිළිතුරු ලබා දෙමිනි.
“ අපි ඉතාම ශක්තිමත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස රටේ බලවත්ම වගකිවයුතු වෘත්තීය සමිති එක්ක සන්ධානගත වෙලා ඉන්නවා. අපි බලවත් තමයි. ඒත් අපේ බලය අපි යොදවන්න ඕන දැනුම්වත් ජනතාවක් පෙළ ගස්වන්න පමණයි. “
“බලවත් ආණ්ඩුවෙ ජනාධිපති, අගමැති, මුදල් ඇමති සහෝදර තුන්කට්ටුව තමන්ගෙ බලය පාවිච්චි කිරීමෙන් ජනතාව පීඩාවට පත් කරලා සිටින ආකාරය අපි දකිනවා. අපි අපේ බලය යෙදෙව්වොත් මීට වඩා අසීමාන්තික පීඩාවකට ජනතාව පත් වෙනවා. විදුලි සේවකයන් වර්ජනයක් සඳහා යන්නෙ රටේ සියලු දෙනා වෙනුවෙන් කියන කාරණාව ජනතාව අවබෝධ කරගත්තෙ නැතිනම් ඒ විරෝධය එන්නෙ විදුලිබල මණ්ඩලයට. අපි ඒක අත්දැකීමන් දන්නවා. ඒ නිසා මොන තරම් ප්‍රශ්න ආවත් ජනතාව නිශ්චිතව දැනුම්වත් කිරීමකින් තොරව අපට මේ වර්ජනයට යන්න බෑ. දැන් සීනි, පිටි, පරිප්පු, ගෑස් මිල පාලනය කරන්නේ කොම්පැණි කාරයො වගේ විදුලි බිලත් කොම්පැණි කාරයෙක් තීරණය කිරීමේ භායනකකම මිනිස්සු හරියටම තේරුම් ගත්තට පස්සේ තමයි වර්ජනයකට යා යුත්තේ.“
“මොකද වර්ජනයක් කියන්නෙ අවසාන තේරීම. එතනින් එහාට මොනව ද කරන්නෙ. එය කළ යුත්තේම නැවත කිසිම දෙයක් හැරවෙන්නෙ නැති විදිහට. අපි වර්ජනයක් කරලා ඉවර වෙනකොටත් ආණ්ඩුව නැවතත් මේ අත්තනෝමතික තැනකම ඉන්නවා නම්, ජනතාව බනින්නෙ විදුලිබල මණ්ඩලයට නම් ඒ වර්ජනය වර්ජනයක් නොකර සිටීමට වඩා විනාශකාරීයි.“
“ඒ නිසා මේ බව තේරුම් ගත යුතුයි. අපි වෘත්තීය සමිති විදිහට බලසම්පන්න බව ඇත්ත. මේ ආණ්ඩුව ඒක පිළිගත්තත් සාකච්ඡාවක තරම් දෙයක් දෙන්න මේ සහොදර තුන්කට්ටුවෙ ආණ්ඩුව කටයුතු නොකරන තරම් උද්දච්ච බවත් ඇත්ත. එහෙත් අපිත් උද්දච්චකමින් අපේ බලය පෙන්වන්න අවශ්‍ය අවස්ථාවක් නොවෙයි ගතවෙමින් තිබෙන්නෙ. අපි ඉතාම සංවිධානාත්මකව අපේ අවසන් අරගලයට සූදානම් වෙනවා. ඒක ඉවර කරන්නෙ ජයග්රහණයෙන්.“
රන්ජන් ජයලාල් වැඩිදුරටත් කීවේය.







