හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු මේ වනවිට දින 42 ක කාලයක පුරප්පාඩු වි ඇති විගණකාධිපති තනතුරට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නිර්දේශය අද (21) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප වී තිබේ.
වාර්තාවන පරිදි විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇත්තේ ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන එච්.ටී.පී චන්දනගේ නමය.
එම නිර්දේශය සම්බන්ධයෙන් ඊයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීද එකඟතාව පළ නොවූ අතර අද යළි එම සභාව රැස් වී තිබුණේ ඒ සම්බන්ධයෙන් යළි සළකා බැලීම අරමුණුකර ගනිමිනි.
එහිදී විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නමට පක්ෂව ලැබී තිබුනේ ඡන්ද 3 ක් පමණි. එක් සාමාජිකයෙක් ඡන්දය ප්‍රකාශයෙන් වැලකී සිටි අතර විපක්ෂව ඡන්ද 5 ක් හිමිවූයේය.
අද පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධ ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මුජිබර් රහුමාන් ජනාධිපතිවරයාගේ යෝජනාවට එරෙහිව බරපතල විවේචනයක් ගොඩනැගුවේය.
මේ අතර ශ්‍රී ලංකා විගණන සේවා සංගමය ඇතුළු වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ද අද මේ සම්බන්ධයෙන් ප්රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් එම තේරීමේ ඇති ගැටලුසහගත භාවය පිලිබඳ සිය අදහස ඉදිරිපත් කළේය.







