දිනසේන රතුගමගේ –
ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කොට බුද්ධාගමට පමණක් ප්‍රමුඛත්වය ලබා දීමට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වගන්තිවල යම් සංශෝධනයක් සිදු කිරීමට සජිත් ප්‍රේමදාස එකඟ වූ බැවින් ද එම ව්‍යවස්ථා සංශෝධනය හරහා දෙමළ ජනතාව සම්බන්ධයෙන් වූ මූලික ප්‍රශ්න වලට විසඳුමක් ලබා දීමට එකඟ වූයේ සජිත් ප්‍රේමදාස පමණක් බැවින් ද ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහයෝගය දැක්වීමට අවසන් නිශ්චිත තීරණයට එළඹුන බව එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා අද (16) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කියා සිටියේය.
අද වවුනියාවේ දී පැවති මේ සාකච්ඡාවට එම පක්ෂයේ නියෝජිතයින් හය දෙනෙකු සහභාගී වූ බවත් ඉන් පස් දෙනෙකුම සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමේ තීරණයට කැමැත්ත පල කළ බවත් කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පමණක් එම තීරණය නොපිළිගත් බවත් මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.
එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයා දෙමළ පොදු අපේක්ෂක බී.අරියනේත්‍රම්ට සහය දැක්වීමට මීට පෙර ගත් තීරණය වෙනස් නොකරණ බව මධ්‍යම කාරක සභා රැස්වීමේදීද ප්‍රකාශ කොට තිබේ.
‘’එබැවින් 2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට අප පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට අනුව ඔහුට ඡන්දය ලබාදෙන මෙන් කාරුණිකව ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිමු.’’ ලෙස එම පක්ෂය විසින් නිකුත් කරණ ලද නිවේදනයක සඳහන් කොට ඇත.
මෙම අවසන් තීන්දුවට පැමිණිමට පෙර ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමේ යෝජනාවට එකඟ වූයේ නැත.
එමෙන්ම ඔහුගේ අභිලාෂය වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීම බවත්, ඔහු හමුවීමට ජනාධිපතිවරයා ඔහුගේ නිවසට ගොස් කළ දීර්ඝ සාකච්ඡාවෙන් අනතුරුව ඔහු ඒ සඳහා නොනිල මට්ටමින් එකඟ වූ බවත් වාර්තා වූයේය.
පසුව සජිත් ප්‍රේමදාසට සහයෝගය දැකවීමේ යෝජනාව සමාලෝචනය කළ යුතු බවට වූ මතයක් මාවෙයි සේනාධිරාජා ඉදිරිපත් කළේය. එම යෝජනාවට පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.සුමන්තිරන් එරෙහි වූ අතර ඔහු කීවේ සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දීමේ තීන්දුව විධිමත්ව ගනු ලැබූ එකක් බැවින් දැන් ඉතිරිව ඇත්තේ ඉදිරි වැඩපිළිවෙළ ගැන සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡා කිරීම බවය.
කෙසේ වෙත්ත මේ වනවිට මාවෙයි සේනාධිරාජා ද පක්ෂයේ පොදු මතයට එකඟ වී සජිත් ප්‍රේමදාසට සහයෝගය දැක්වීමේ අභිලාෂය තහවුරු කර ඇත.








මේ මාධ්‍ය හමුවේ වීඩියෝ එකක් නැද්ද?