දිනසේන රතුගමගේ –
වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් රසායනික පරීක්ෂණයක් සිදු කිරීම සඳහා කොළඹ සිට විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (26) වවුනියාවට පැමිණ තිබේ.
එම නිලධාරීන් පිරිස නිවස පුරා විසිරී පැවති ද්‍රව්‍ය රසායනික පරීක්ෂාවකට ලක් කරමින් දත්ත රැස් කිරීම ආරම්භ කොට තිබේ.
මැර පිරිස එල්ල කල ප්‍රහාරය නිසා තරුණ යුවලක් මියගොස් තවත් නව දෙනෙකු තුවාල ලබූ අතර එම තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු ඉතා බරපතල තත්ත්වයක පසුවෙයි.

මෙම ප්‍රහාරයට සම්බන්ධ කිසිම සැකකරුවකු මේ දක්වා අත් අඩංගුවට ගැනීමට වවුනියාවේ ආරක්ෂක අංශවලට හැකියාවක් ලැබී නැති අතර සිද්ධියේ අලුත්ම තොරතුරුවලට අනුව මේ ප්‍රහාරය සඳහා පුද්ගලයින් 10 දෙනෙකු පැමිණ ඇති බවට සාක්කි හමු වී තිබේ.
මේ අතර වවුනියාව පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව කීපයකින්ම වැදගත් තොරතුරු ලබා දී ඇති අතර එම තොරතුරු වලට අනුව මේ ප්‍රහාරය පසුපස විශාල මත් ද්‍රව්‍ය ජාවාරමක සිද්ධියක් ඇති බවටද තොරතුරු හමු වී තිබේ.
ප්‍රහාරයට පැමිණි පිරිසත් උපන් දින සාදය සඳහා සහභාගී වූ අයෙකුත් එකිනෙකාට ප්‍රති විරුද්ධ මැර කණ්ඩායම් දෙකක ක්‍රියාකාරී සාමාජිකයින් බවටද තොරතුරු හෙළි වී තිබේ.
ප්‍රහාරකයින් එම නිවසට පැමිණ ඇත්තේ ඔවුන්ට විරුද්ධ මැරයා සෙවීම සඳහා බවටද තොරතුරු හමු වී තිබේ.
වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ගෙන යයි.







