මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල කන්දේගම ගම්මානයේ, විදුලි සැර වද්දවා වන අලියෙකු මරා කැබලි කර ගෙවත්තේ වළ දැමූ පුද්ගලයෙක් සහ තවත් පිරිසක් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලොන්නරුව වනජීවී කාර්යාලය සඳහන් කරයි.

ඉකුත් 12 වෙනිදා මෙම අපරාධය සිදුකර ඇති අතර ලද තොරතුරකට අනුව වෙහෙරගල, පිඹුරත්තෑව, පොලොන්නරුව, වනජීවී නිලධාරීන් එක්ව දියත් කළ මෙහෙයුමකදී වලදමා තිබූ සිරුර ඊයේ (14) සවස සොයාගැනීමට හැකිවූ බව පොලොන්නරුව වැටලීම් ඒකකයේ අඩවි සහකාර කුමාරසිරි විජයකෝන් අප කළ විමසීමකදී සඳහන් කළේය.
වන අලියාට විදුලි සැර වද්දවා මියගිය පසු එම අපරාධකරුවන් පිරිස වන අලියා කොටස් වලට කපා වළ දමා ඇති බවට සැක කරන බවත්, ඒ පිළිබඳ කරුණු අද(15) වෙනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.
අද සවස වන අලියාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි ගේ මූලිකත්වයෙන් සිදුකිරීමට නියමිත බවද පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකයේ අඩවි සහකාර විජයකෝන් සඳහන් කළේය,

කන්දේගම 240 ග්‍රාම සේවා වසමේ ගෙවත්තක එම අපරාධය සිදුකර ඇති අතර නිවසේ හිමිකරු ඇතුළු, කන්දේගම ගම්මානයෙන් තවත් නවදෙනකු පමණ මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකරන බව වනජීවී නිලධාරීහු කියති.
ගෙවත්තේ මිරිස්, කවුපි ,කරවිල වගාකර තිබෙන අතර ඒවා ආරක්ෂා කිරීමට ගෙවත්ත වටා විදුලි වැටක් ඇද තිබෙන අයුරුද නිරීක්ෂණයේදී දැකගත හැකිවිනැයි ඒ පිළිබඳ පරික්ෂා කිරීමට ගිය පොලොන්නරුව, පිඹුරත්තෑව, වෙහෙරගල වනජීවී නිලධාරීන් සඳහන් කළහ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, පොලොන්නරුව වනජීවී සහකාර අධ්යක්ෂ ඩබ්ලිව්.එල්. පී. එදිරිසිංහගේ උපදෙස් පරිදි පොලොන්නරුව, වෙහෙරගල, පිඹුරත්තෑව,යන වනජීවි කාර්යාලවල නිලධාරීන් පිරිසක් මෙම ඝාතනය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.







