මනම්පිටිය නිමල් ජයරත්න –
කොළඹ සිට මඩකලපුව දක්වා ඉන්ධන රැගෙන යමින් තිබු දුම්රියක් අද (18 ) අලුයම 4,00 ට පමණ මින්නේරිය දුම්රියපොළ ආසන්නයේදී අලි රංචුවක් ගැටී අලි දෙදෙනෙකු මිය ගොස් දුම්රියත් පීලි පැන ඇති බව මින්නේරිය පොලිසිය කියයි.

එම දුම්රියේ ටැංකිවල ඉන්ධන ගැලුම් 11,000 අඩංගු වී තිබූ බවත්, ටැංකි 07 ක ඩීසල් ද, ටැංකි 04 ක පෙට්‍රල් තිබී ඇති අතර
ඉන් පෙට්‍රල් ටැංකි දෙකක් පෙරළී තෙල්කාන්දු වෙමින් පවතින බවත් ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන මින්නේරිය පොලිසිය සඳහන් කරයි.

මෙම දුම්රියේ රියැදුරු ඇතුළු සේවකයින් හතර දෙනකු ගමන් කර ඇති අතර ඔවුන් කිසිවකුට තුවාල සහ ආපදාවක් සිදුව නොමැති බවද මින්නේරිය පොලිසි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු අප කළ විමසීමකදී සඳහන් කළේය .

දුම්රිය පීලි පැනීම හේතුවෙන් ගල්ඔය, මඩකලපුව දුම්රිය ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අවහිර වී ඇති අතර එම ස්ථානයේ ආරක්ෂාවට මින්නේරිය සහ හබරණ පොලිසියේ විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.
දුම්රියට අලි රංචුවක් ගැටීමෙන් තවත් අලියෙකු බරපතල තුවාල ලබා සිටින බවද මින්නේරිය වනජීවි නිලධාරින් සඳහන් කරයි.
මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. 







