සූරියවැව නුවන් ජයසේකර –
සූරියවැව වැවේගම ප්‍රදේශයේදී සොරකමක් සම්බන්ධයෙන් නිවැසියන් ඇතුළු පිරිසක් විසින් අල්ලා පහර දී පොලීසියට බාරදුන් සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු මියයාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඊයේ (03) දහවල් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමන් පසු සැකකරු දින 14ක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සූරියවැව වැවේගම පදිංචි 37 හැවිරිදි තිදරු පියෙකුය.
පසුගිය 01 වන දින රාත්‍රි සූරියවැව වැවේගම පිහිටි නිවසක වතුර මෝටරයක් සොරකම් කරගෙන යමින් සිටියදි නිවැසියන් විසින් අවට තවත් කිහිප දෙනෙකුගේ සහාය ඇතිව අල්ලාගත් බව කියන සැකකරුවන් තිදෙනෙකුට බරපතළ ලෙස පහර දි තිබුණි.
නිවැසියන්ගේ හා තවත් කිහිප දෙනෙකුගේ පහරකෑමට ලක් වු පුද්ගලයන් තිදෙනා නිවැසියන් විසින්ම පොලිසියට බාර දි තිබේ. සැකකරුවන් තිදෙනා පොලිස් බාරයට පත්වන අවස්ථාවේ පහරකෑමට ලක්ව සිටි නිසා ඔවුන්ව සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.
හිදි බරපතළ තත්වයේ පසු වු එක් සැකකරුවෙකු වැඩිදුර ප්‍රථිකාර සදහා මාතර මහ රෝහල වෙත රැගෙන යමින් සිටියදි මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුගේ ඥාතියෙකු විසින් සූරියවැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් අදාල පහරදිම සිදුකල බව කියන පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇත.
ඒ අනුව සූරියවැව පොලිසිය විසින් පෙරේදා ( 02 ) පෙරවරුවේ වැවේගම පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ
.එළෙස අත්අඩංගවට පත් පුද්ගලයා ඊයේ (03) දින දහවල් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. සිද්ධිය සම්බන්ධයෙන් ගම්වැසියන් පවසන්නේ මෙම පහරදිම පවුල් කිහිපයක සාමාජිකයින් හා ඔවුන්ගේ හිතවතුන් පිරිසක් විසින් සිදුකල පහරදිමක් හේතුවෙන් මෙම තරුණයා මියගිය බවය.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්නගේ උපදෙස් පරිදි සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







