මනම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් නඩත්තු කරන සිරිපුර, දිඹුලාගල, නුවරගල, වෙහෙරගල යන ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලින් නිකුත් කරන ජලය ඉතා අපිරිසිදු අසූචි මිශ්‍ර ජලය බවත්, එම ජලය පරිභෝජනයට නොගෙන වෙනත් විකල්ප ක්‍රමයකට යන ලෙසත් මහජන පරීක්ෂකවරු එම ජල පරිභෝජනය කරන 25000කට අධික ජනතාවක් වෙත දන්වා තිබේ.

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඉකුත් ජනවාරි මස 01 දා සිට මේ දක්වා මෙම ජලය පිරිපහදු කිරීම සඳහා යොදා ගන්නා ක්ලෝරීන් කල් ඉකුත් වී තිබිම බව පසුව කළ නිරීක්ෂණයක දී හෙළි වී ඇත. එහෙත් විකල්පයක් නැති ජනතාව මෙම ජලය පරිභෝජනය කිරීම ඛේදවාචයක් බව මහජන සෞඛ්‍ය අංශ කියයි.
මෙම ජල අපවිත්‍රතාවයට හේතු විමසා යෑමේ දී දිඹුලාගල ප්‍රාදේශීය සභාව විසින් මිලදි ගත් ක්ලෝරීන් කිලෝ 50 ඇසුරුම්වල 2022 ජනවාරි 01 වෙනිදා කල් ඉකුත් වන බවට මුද්‍රණය කරති තිබුණද එය මත කල් ඉකුත්වන දිනය ලෙස 2026 සහ 2027 වර්ෂ සඳහන් කරමින් ස්ටිකරයක් අලවා ඇති අයුරු මහජන පරීක්ෂකවරුන් විසින් නිරීක්ෂණය කර ඇත.

මේ අපරාධය පිළිබඳ විමසීමට අප අද ( 23 ) සිරිපුර ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට ගිය විට අද දිනයේ ද මෙම කල් ඉක්තු වූ ක්ලෝරින් ග්‍රෑම් 500 ක් සිරිපුර ජල ටැංකිවලට යොදා ඇති බවට පොත්පත්වල සටහන් කර තිබිණි,
“මේ පිළිබඳවව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිහිප දෙනෙකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ මේ සම්බන්ධයෙන් දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ අදාළ බලධාරීන් දැනුවත් කළ නමුත් මේ අපරාධය මෙතෙක් නතර වී නැති බවය. , මේ සම්බන්ධ ජල මූලාශ්‍ර පරීක්ෂාවෙන් අනතුරුව එය බීමට නුසුදුසු තත්වයේ පවතින ජලය බවට තහවුරු වී ඇති බැවින් ජනතාවට මේ ජලය පරිහරණයෙන් හැකිතාක් දුරට වැලකි සිටින්නැයි දැනුම් දී ඇති බවත් ඔවුහු පැවසූහ.
ජනතාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නගන මෙම චෝදනා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රම අද දිඹුලාගල සහ වෙහෙරගල ජල පාරිභෝගික මධ්‍යස්ථානවලට නිරීක්ෂ යෙදුනේය.
එහිදීත් අනාවරණය වී ඇත්තේ තවමත් කල් ඉකුත් වූ ප්‍රමිතියෙන් තොර ක්ලෝරින් මෙම ජල ටැංකිවලට යොදන බවය.
දිඹුලාගල ජල පාරිභෝගිකයින් විසිපන්දහසකට සිදුකරන අපරාධය පිළිබඳව තමා දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී කතා කළ බවත්, මේ පිළිබඳව උතුරු මැද පළාත් පාලන කොමසාරිස් වරයාත් දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාත් දැනුවත් කළද තවමත් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා කීවේය.

තවමත් එම නිලධාරීන් සිදු කරන වැරදි ක්‍රියා නිසා ජනතාව අකාලයේ රෝගීන් සහ වකුගඩු රෝගීන් බවට පත්වන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා කිහිපනමක් සමග ජගත් සමරවික්‍රම මහතා මේ පිළිබඳව කරුණු සොයා බැලීමට දිඹුලාගල ප්‍රාදේශීය සභාවට ගිය විටදී එහි ලේකම් එස්,එම්.කේ,වීරකෝන් සඳහන් කළේ මේ පිළිබඳව ක්ලෝරීන් ලබාගන්නා ආයතන දැනුවත් කර ඇති බවයි.
ජල පාරිභෝගික ජනතාවට සිදුකරන මෙම අපරාධය පිළිබඳව අප උතුරු මැද පළාත් පාලන කොමසාරිස් එන්,එච්,ආර්. නිශාන්තගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු එම දුරකථන ඇමතුම පොලොන්නරුව පළාත් පාලන සහකාර කොමසාරිස් ජෙ,එම්,අමීන්ට යොමු කළේය.
ඔහු සඳහන් කළේ අදාල වෙළඳ ආයතනය කල් ඉකුත් වූ දිනයට උඩින් වෙනම වර්ෂය දීර්ඝ කරමින් ස්ටිකරයක් අලවා ඇති බවත්, ඒ පිළිබඳ දැන් ගත්තේ මෑතකදී බවත්ය.
කෙසේ වෙතත් එම වෙළෙඳ ආයතනයට නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පළාත් පාලන සහකාර කොමසාරිස් ජෙ,එම්,අමීන් කීවේය.







