ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සවුත් බීච් වැන්ඩර්බිල්ට් හි පැවති “මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්” තරගය අතරතුර අපකීර්තිමත් ගැටුම ඇති වී තිබෙන්නේ එම තරගයට සහභාගි වූ තරගකාරියකගේ හිටපු පෙම්වතා සහ වත්මන් පෙම්වතාගේ පාර්ශව දෙක අතර බව හෙළි වී තිබේ.
මෙම ගැටුමක් හේතුවෙන් පිළිගැනීමේ ශාලාවට දැඩි අලාභහානි සිදු වී තිබිනි.
නිව්යෝර්ක් හි ස්ටැටන් අයිලන්ඩ් සහ ක්වීන්ස් යන ප්‍රදේශවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ පාර්ශ්ව දෙකක් අතර මෙම ගැටුම හටගෙන තිබේ.
සිද්ධියෙන් පසු ස්ටේටන් අයිලන්ඩ් හි පිහිටි සුඛෝපභෝගී උත්සව ශාලා පහම නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන කිසිදු උත්සවයක් සඳහා තමන් විසින් පහසුකම් සලසා දෙන්නේ නැති බවය.
උත්සව ශාලාව ආසන්නයේ බෞද්ධ විහාරස්ථානයක් ද පිහිටා ඇති අතර කඨින පිංකම් පැවැත්වෙන කාලය තුළ විහාරස්ථානය අසල කිසිදු මහජන රැස්වීමක් නොපැවැත්විය යුතු බවට ද එම විහාරස්ථානය නිවේදනය කර ඇත.
ගැටුමෙන් පනස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ශාලාවේ සිටි ආරක්ෂක නිලධාරීන් ගැටුමට සම්බන්ධ සියලු දෙනා එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.
ශාලාවෙන් පිටතදී පුද්ගලයන් ගැටුණු ආකාරය දැක්වෙන වීඩියෝවක් ගණනාවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල සංසරණය වෙමින් ඇත. ශාලාව අවට විසිතුරු වීදුරු භාණ්ඩ ඇතුළු සියලු භාණ්ඩවලට පැමිණි පිරිස් අලාභහානි කරන අයුරු දක්නට ලැබේ.
ගැටුම පිලිබඳ චෝදනා ගොනු නොකිරීමට දෙපාර්ශ්වය එකඟ වීම නිසා පොලිසිය පැමිණියත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.
නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම උත්සවයට සහභාගී වී තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙම අවස්ථාවට අනුග්‍රහය දක්වා ඇති බව වාර්තා වේ.

තරඟකාරියන් 13 දෙනෙකු පරදවමින් ප්‍රථම වරට ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජින ලෙස කිරුළු පැළඳීමට ඇන්ජලියා ගුණසේකර සමත් වූවාය.
සවන්දි ද සිල්වා, මිත්මා දිසානායක, අනුකි ප්‍රනාන්දු, චාමික ගුණවර්ධන, ඇන්ජලියා ගුණසේකර, නිතුලි හේවාගම, දිල්මි කපුගේ, ඩැෆ්නි කරවිට, තරුෂි කපුගේ, දක්ෂි සිල්වා, අමන්දා විපුල්, අමායා වනිගරත්න, චාමි යාපා, ෂල්කි ප්‍රනාන්දු, රූ රැජන තරගයට ඉදිරිපත් වී සිටි තරගකාරියෝ වූහ.
මෙම අවස්ථාවට 300 කට අධික පිරිසක් පැමිණ ඇත.







