ශ්‍රී ලංකාවේ ජනගහණය පුද්ගලයන් 21,763,170 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” ට අනුව එම දත්තය ලැබී ඇත. අද (07) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම වාර්තාව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් විසින් භාර දෙනු ලැබුවේය.
ශ්‍රී ලංකාවේ ජනගහනය 2012 වසරේ සංගණයෙන් වාර්තා වූ පුද්ගලයන් සංඛ්‍යාවට වඩා මෙවර සංගණනයේදී 1,403,731 ක වැඩිවීමක් ප්‍රදර්ශනය කරන බවත් 2012 සහ 2014 කාලය තුළ ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය සියයට 0.5 ක් බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකාවේ ජනගහනය, ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික්ක අනුව ජනගහන ව්‍යාප්තිය පිළිබඳව මෙම සංගණන වාර්තාවේ සඳහන්වේ.
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් ඉහළතම කොටස වන සියයට 28.1 ක් බස්නාහිර පළාතේ ජීවත්වන සිටින අතර අඩුම සංඛ්‍යාව වන සියයට 5.3 ක් උතුරු පළාතේ පදිංචිව සිටින බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින 2,433,685 දිස්ත්‍රික්කයක සිටින ඉහළතම පුද්ගලයන් සංඛ්‍යාව වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහණය 2,374,461 ක් බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.
2024 ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා දිවයින පුරා රැස් කරන ලද දත්ත පදනම් කර ගනිමින්, මෙම සංගණන මූලික වාර්තාව සැකසිනි. සංගණන ඉතිහාසයේ ප්‍රථම වරට දත්ත රැස් කිරීම සඳහා ටැබ්ලට් පරිගණක හා සුහුරු ජංගම දුරකථන භාවිත කිරීමද මෙවර සංගණනයේ විශේෂත්වයකි.
සංගණනයෙන් රැස් කරන ලද තොරතුරු ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමට රජයට මෙන්ම අනෙකුත් ආයතන සඳහාද ඉතා වැදගත් වන බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.







