එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට එක්වු රසායන ද්‍රව්‍ය හා ඉන්ධන මගින් ශ්‍රී ලංකා වෙරළ කළාපයේ බිත්තර දමන හා ශ්‍රී ලංකාව අවට ජීවත්වන කැස්බෑ විශේෂ පහකට පමණ විශාල බලපෑමක් එල්ලවී තිබෙන බව ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනයාක පවසයි.
ශ්‍රී ලංකා මුහුදු තීරයේ බිත්තර දමන කැස්බෑවන් අතරින් 90 % ක් ම ගල් කැස්බෑවුන් බවත් ඔවුන් වසර පුරා බිත්තර දැමුවත් ප්‍රධාන බිජු සමය ක්‍රියාත්මක වන්නේ ජනවාරි සිට ජුලි අගෝස්තු දක්වා බවත් ඔහු කීය.
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අද (14) ලලිත් ඒකනායක මේ බව ප්‍රකාශ කළේය. නැවෙන් පිටවූ රසායනික ද්‍රව්‍ය හා ඉන්ධන මගින් කැස්බෑවන්ට මෙන්ම කැස්බෑ බිත්තර වලටද විශාල බලපෑමක් ඇතිවන බවත් මේ නිසා මෙරට මුහුදු තීරයේ කැස්බෑ ගහණය ඉදිරියේදි අඩුවිවීමේ අවදානමක් තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා වෙරළ තීරයේ බිත්තර දමන කැස්බෑවන්ගේ භෝජන කළාපය අධ්‍යන්‍යය කිරීමේදී ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ කර්ණාටක වෙරළ, ලක්ෂදීප දූපත් හා මන්නාරම් බොක්කේ ඉන්දියාවට අයත් ධනුෂ්කොඩි ආසන්නයට ඔවුන් ගමන් කරන බව පෙනී ගොස් තිබෙන බවද ආචාර්යවරයා කීය.
ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තිරය ඔස්සේ මෙම කැස්බෑවන්ගේ ගමන් මාර්ගය වැටී තිබෙන බවත් නැවෙන් පිටවූ රසායනික ද්‍රව්‍යය හා ඉන්ධන කස්බෑවන්ගේ ගමන් මාර්ග ඔස්සේ වැටී ඇති බැවින් එම සතුන් බලපෑමට ලක්වීමේ විශාල අවදානමක් තිබෙන බවත් හෙතෙම පැවසුවේය.
කැස්බෑ බිත්තර වලින් පැටවුන් බිහිවීමට දින 45 ත් 60 ත් කාලයක් ගතවන බවත් වෙරළේ එකතු වන රසායන ද්‍රව්‍ය මගින් මෙම බීජ වලට හා ඒවායින් පිටවන පැටවුන්ට විශාල බලපෑමක් එල්ලවිය හැකි බවත් කී ඔහු ඉදිරියේදී මෙරට මුහුදු සීමාවේ කැස්බෑ ගහනයේ විශාල අඩුවීමක් සිදුවිය හැකි බවද අවධාරණය කළේය.