වනජීවී දෙපාර්තමේන්තුව අද (26) මෙරට රිලව් චීනයට අපනයනය නොකරන බවට අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය.
ොවනජීවී දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේ මෙම ප්‍රතිඥාව ලබා දුනනේ මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර ක්‍රියාකාරීන් පිරිසක් ගොනුකරන ලද රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේ දීය.
එහි දී වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ විසින් මෙම දැනුම් දීම අධිකරණය වෙත කරනු ලැබීය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබිණි.
මෙහිදී විනිසුරු මඩුල්ල මෙම ප්‍රතිඥාව ලිඛිතව පෙත්සම්කාර පාර්ශවයට ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයාට දන්වා සිටියේය.
ඊට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකඟතාවය පළ කළ අතර අනතුරුව පෙත්සම යළි ජූලි මස 06 වැනිදා යළි කැඳවීමට නියෝග කෙරිනි.
පෙත්සම්කරුවන් කියා සිටියේ මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට රජය සූදානම් වන්නේ යැයි වාර්තා පළ වී ඇති බවත් එහි මුල් පියවර ලෙස රිලවුන් දස දහසක් අපනයනය කිරීමට නියමිත බවත් වාර්තා වන බවය.
මෙම ක්‍රියාව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත මෙන්ම සත්ව හිංසා වැළැක්වීමේ පනතේ විධි විධානයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි යැයි පෙත්සම්කරුවෝ පෙන්වා දුන්හ.
මෙම රිලවුන් අපනයනය කෙරෙන්නේ කුමන අරමුණක් සඳහා දැයි අපැහැදිලි බැවින් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියහ.







