චීනයට මෙරටින් රිලවුන් ලක්ෂයක් යැවීමට රජය අදහස් කරන්නේ නම් ඒ සඳහා අතිශය විධිමත් වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් ගල් කැට අහුලන්නා සේ රිලව් එකතු කළ නොහැකි බවත් ආචාර්ය ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි.
බීබීසීය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබුනේ මේ රිලව් එකතු කිරීම සිදුකිරීමේ අභිලාෂයක් වේ නම් නිසි විද්‍යාත්මක දත්ත මත එය නොකළහොත් ප්‍රශ්නය හිතනවාටත් වඩා බරපතල විය හැකි බවය.
ඔහු බීබීසි සිංහල සේවය වෙත පවසා තිබුනේ මෙසේය.

“රිලවු ලක්ෂය තෝරන්න නම් ඒ ඒ දිස්ත්‍රික්කවල සිටින ගහණ ගණත්වය ගැන අප දැනගෙන සිටිය යුතුයි.
රිලවාගෙත් උප විශේෂ තියෙනවා. සමහර වාර්තාවල කියැවෙනවා උප විශේෂ දෙකයි කියලා, සමහර වාර්තාවල කියැවෙනවා උප විශේෂ හයක් සිටිනවා කියලා. එතකොට අපි දන්නෙම නැතුව දුර්ලභ විශේෂයන් යැවුවොත් ඒ විශේෂය මෙරටින් නැතිවී යනවා.
සමහර විට ඒ දුර්ලභ විශේෂය මිනිසුන්ටවත්, වගාවන්ටවත් හානියක් නොකරන වනවාසී සත්ත්ව කොට්ඨාසයක් වෙන්න පුළුවන්,”
රිලවා වගා හානි සත්ත්වයෙකු බවට පත්වීමට ප්‍රධාන හේතුව මිනිසුන්ගේ ක්‍රියාකාරකම් බව ද පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.
“අප බලන්න ඕන ඇයි රිලවුන් වගා හානි සත්ත්වයෙකු බවට පත්වූයේ කියලා. ඔවුන්ගේ වාසස්ථාන බවට පත්ව තිබූ වනාන්තර, ලඳු කැලෑ කුට්ටි මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වුන නිසා එම සතුන් ගම්වලට පැමිණියා. නැත්නම් ගම්මුන් ගියා කැලය ඇතුලට. ඒවා අපි හරියට අධ්‍යයනය කරන්න ඕන. එහෙම නැතුව රිලවු වැඩියි කියලා ඒ සත්තු මරලා මේ ප්‍රශ්නය විසදන්න කියලා කියන කතා සාහසිකයි.
මේ ප්‍රශ්නයේ සාදාචාරාත්මක පැතිකඩක්, විද්‍යාත්මක පැතිකඩක් වගේම නීතිමය පැතිකඩක් තියෙනවා. මේ තුනම ඒකාග්‍රවෙන තැනයි විසඳුම තියෙන්නේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය කියනව නම් රිලවුන් ලක්ෂ 30ක් රටේ ඉන්නවනම් ඒකෙන් ලක්ෂයක් චීනයට යවනවානම් එකෙන් කොයි දිස්ත්‍රික්කයේ ද ප්‍රශ්නය විසදෙන්නේ කියලා කියන්න ඕන,” ඔහු පැවසුවේ ය.
රිලවුන් ඇල්ලීමට යාමේ දී හිතුවාට වඩා ගැටලුසහගත තත්ත්වයන් ද මතුවිය හැකි බව පරිසරවේදී ජගත් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියි.
“රිලවුන් ලක්ෂයක් අල්ලනවා නම් පලවෙනි වටයේ අල්ලන්නේ කුමන දිස්ත්‍රික්කයෙන් ද? රිලවුන් රංචුවම අල්ලනවා ද නැත්නම් භාගයක් අල්ලනවාද? එම රංචුවේ සිටින ගැහුණු සතුන් පමණක් අල්ලනවාද, නැත්නම් පිරිමි සතුන් පමණක් අල්ලනවද? සමහර වෙලාවට මේවා අල්ලන්න ගිහින් හිතුවටත් වඩා වැඩි ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. “
“මොකද මේ රිලවු රංචුවල ආධිපත්‍ය තියන් ඉන්නේ පිරිමි සතුන්. එතකොට ඒ රංචුවේ පිරිමි සතුන් විතරක් අයින් කළොත් ඒ රංචුවට අලුත් පිරිමි සතුන් එනවා. එතකොට තිබුනටත් වඩා රංචුව බෝවෙන්න පුළුවන්. සත්තු එකතු කරනවා කියන්නේ ගල් කැට එකතු කරනවා වගේ දෙයක් නෙමෙයි,” නීතිඥ ජගත් ගුණවර්ධන සඳහන් කළේය.
මෙම රිලා අපනයනයට මුඛ්‍ය සාධකය වගා හානිය නම් ඒ සම්බන්ධව සිදුකළ විද්‍යාත්මක පරික්ෂණය හෙළි කළ යුතු බවත් ඇමතිවරයාගේ නිර්දේශය මත පසුගිය වසරේ අග භාගයේ දී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයෙන් සිදුකළ බව කියන එම අධ්‍යයන වාර්තාව කොතරම් ඉල්ලා සිටියත් තවමත් රටට හෙළි වී නැති බවත් ආචාර්ය ජගත් ගුණවර්ධන පැවසුවේය.
ඇමතිවරයා මාධ්‍යයට පවසන දත්ත තියනවා නම් තිබෙන්නේ මෙම වාර්තාවේ නමුත් එම වාර්තාව රටට නිකුත් නොවීම බරපතල ප්‍රශ්නයක් බවත් ආචාර්ය ගුණවර්ධන පෙන්වා දුන්නේය.
වගා හානි වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර යෝජනා කළ යුතු වන්නේ නම් ලබාදෙන වාර්තාවේ ප්‍රධාන කරුණු 04ක් අඩංගු විය යුතු බව ද ඔහු කීවේය
- රිලවුන්ගෙන් කොයි උප විශේෂය ද හානිකර වෙන්නේ?
- කොයි දිස්ත්‍රික්කවලට ද හානිකර වෙන්නේ?
- එම දිස්ත්‍රික්කවල කුමන වගාවන්වලට ද වැඩිපුරම හානිකර වෙන්නේ?
- ඒ වගේම එම දිස්ත්‍රික්කවල ගහණ ගණත්වය කොපමණ ද? (ගහණ ගණත්වය කියන්නේ වර්ග කිලෝමීටරයකට සතුන් කොපමණ පිරිසක් සිටිනවාද?)
ඒ විස්තර මොකුත් අපිට තිබුනේ නැති නිසා අපට ඒ ගැන නිසි පියවරක් යෝජනා කරන්න බැරිවුනා,” නීතිඥ ගුණවර්ධන බීබීසී සිංහල සේවය වෙත පවසා තිබිණි.
( සිංහල බීබීසී වාර්තාව අසුරුනි)







