මනම්පිටිය නිමල් ජයරත්න –
කොළඹ සිට මඩකලපුව දක්වා ඉන්ධන රැගෙන යමින් තිබූ දුම්රියකට වැලිකන්ද සුසිරිගම ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රියේ දීත් වන අලියෙකු ගැටීමෙන් එම වන අලියාට තුවාල සිදුව ඇති බව වැලිකන්ද වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
දුම්රියේ වැදීමත් සමඟ එම වන අලියා බිම වැටී ඇති අතර, පසුව වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි ඇතුළු වනජීවි නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ වන අලියාට ප්‍රතිකාර කර තිබේ.
දුම්රියේ ගැටී තුවාල වු අලියාගේ වයස අවුරුදු තිහක්, තිස්පහක් පමණ වන බව වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේය. දුම්රියේ ගැටුණු අලියාට බරපතළ තුවාල සිදුව නොමැති බවත්, වන අලියාට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අලියා සුසිරිගම රක්ෂිතයට පලාගොස් ඇති බව මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන වැලිකන්ද අඩවි ආරක්ෂක සී,ඒ. වනසිංහ අප කළ විමසීමකදී සඳහන් කළේය. වන අලියාට යම් කිසි විශේෂ ආබාධිත තත්ත්වයක් අනතුර නිසා ඇතිව තිබේදැයි වනජීවී නිලධාරින් මේ වනවිට නිරික්ෂණය පසුවේ.
වැලිකන්දේ දී මින් පෙර ඉන්ධන දුම්රියක ගැටී වන අලි දෙදෙනෙක් එතැනම මිය ගිය අතර තවත් වන අලියෙක් බරපතල තත්ත්වයෙන් ආබාධයට ලක් විය. දුම්රිය පීලි පැන දුම්රිය මගට විශාල හානියක් වු අතර ඉන්ධන තොගයට ද විශාල අලාභානියක් සිදුවිය.







