සිය පුද්ගලික වාහනයට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමේ දී සිදුකළ මූල්‍ය වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කළ විමර්ශනයකින් පසු දණ්ඩනයකට යටත් වූ පොලිස් අධිකාරීවරයෙක් , අදාළ සිද්ධිය පිළිබඳ ඔහුගෙන් කටඋත්තර සටහන් කරගත් සහකාර පොලිස් අධිකාරීවරයාට අවස්ථා කිපයක දි ශාප කරමින් පරුෂ වචනයෙන් බැණ වැදී පලි ගන්නා බවට තර්ජනය කළ බව පවසා එම සහකාර පොලිස් අධිකාරීවරයා පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
සමීප රූප ආවේෂණ අංශයට අනුයුක්තව සේවක කරනු ලබන පොලිස් අධිකාරීවරයෙක් සිය පුද්ගලික වාහනයට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් මාසික ඉන්ධන ප්‍රතිපාදනවලට යටත්ව ඉන්ධන ලබා ගැනීමේ දී සිදුවූ මුදල් අවභාවිතයක් සම්බන්ධව ගණකාධිකාරී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලැබූ මෙම විමර්ශනයේ දී පොලිස් අධිකාරීවරයාගෙන් කටඋත්තර සටහන් කරගෙන ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයෙකි.
උක්ත වංචාව පිළිබඳව සිදුකළ විමර්ශනයෙන් අනතුරුව රජයේ මුදල් අවභාවිතය පිළිබඳව වැරදිකරු බවට ඔප්පු වූ පොලිස් අධිකාරීවරයාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විනය පියවර ගෙන ඇත.
මෙම දණ්ඩනයට උරණ වූ පොලිස් අධිකාරීවරයා සිද්ධිය සම්බන්ධව තමන්ගෙන් කටඋත්තර ලබාගත් සහාකාර පොලිස් අධිකාරීවරයාගේ රාජකාරි දුරකථනයට අවස්ථා ගණනක දි වට්ස් ඇප් මගින් අමතා ශාප කරමින් බැණ වැදී පලි ගන්නා බවට දන්වා තර්ජනය කර ඇත.
අනතුරුව සිද්ධිය පිළිබඳව පොලිස් පැමිණිල්ලක් ගොනු කරන සහකාර පොලිස් අධිකාරීවරයා දන්වා සිටින්නේ මෙම තමන්ගේ පවුලේ අයවලුන්ගෙනුත් පලි ගන්නා බව කී නිසා බියක් මෙන්ම උසස් නිලධාරියාගේ මෙම හැසිරීම නිසා පිළිකුල් සහගත අප්‍රසන්න හැඟීමක් ඇති වූ බවය.
චූදිත පොලිස් අධිකාරීවරයා බැණ තර්ජනය කර ඇත්තේ විදේශයක සිටිමින් බව විමර්ශනයේ දී පෙනී ගොස් ඇත.







