රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන් ඇතුළු දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකට අදාළව තම අධිකාරියට අයත් වාහනයක් සහ රියැදුරකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොල් සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම අධිකාරියේ සභාපති කීර්ති විරසිංහ මහතා පවසන්නේ අදාල රියදුරු විසින් බලයලත් පුද්ගලයකුගේ අනුදැනුමකින් තොරව මෙම වාහනය රැගෙන ගොස් ඇති බවත් ඒ පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන තෙක් රියදුරුගේ වැඩ තහනම් කළ බවත් ය.
එම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවද එම නිවේදනයේ දැක්වේ.
අදාළ නිවේදනය පහතින්.
“කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන් ඇතුළු දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකට අදාළව පොල් සංවර්ධන අධිකාරියට අයත් KI 2376 අංකය දරන වාහනය සහ රියදුරකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ජනමාධ්‍ය මගින් ප්‍රචාරණය විය.
පොල් සංවර්ධන අධිකාරිය සතු මෙම මෝටර් රථය කිසිදු බලයලත් නිලධාරියකු දැනුවත් කිරීමකින් තොරව අත්තනෝමතිකව මෙම ස්ථානයට රැගෙනයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇත.
එතෙක් රජයේ දේපළ අයථා පරිහරණය කිරීමත් රජය අපකීර්තියට පත්කිරීමත් පිළිබඳව ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ රියදුරුගේ වැඩ තහනම් කරන ලදී.
මේ පිළිබඳව තව දුරටත් විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින අතර එම තොරතුරු ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරනු ලැබේ. තවද, මෙම සිදුවීම සම්බන්ධයෙන් අතිශයින් කණගාටුවට පත්වන බව ද මෙයින් දැනුම් දෙමි.
කීර්ති වීරසිංහ
සභාපති
පොල් සංවර්ධන අධිකාරිය.”







