රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් යොදා ගනිමින් පුද්ගලික විදේශ සංචාරයක නිරත වීමේ චෝදානවට ඇප මත මුදා හැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක් යටතේ නඩු පවරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඔහු මෙම දැනුම්දීම කරන්නේ විදෙස්ගත වීමට අවසර ඉල්ලමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ මෝසම අද කැඳවූ අවස්ථාවේ දී ය.
හිටපු ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය ඉදිරියේ කියා සිටියේ විදෙස්ගතව සිටින සිය සේවාදායකයාගේ දියණිය දරු ප්‍රසූතියකට සුදානම්ව සිටින බැවින් ඇය බැලීමට යෑම සඳහා තාවකාලිකව විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසය.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රශ්නගත සංචාරයට මුදල් අනුමත කළ හිටපු ජනාධිපති ලේකම්වරයා නඩුවට අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් ලෙස නම් කර ඇති බැවින් ඔහු විදේශගතවීම සම්බන්ධයෙන් සිදුකරන ඉල්ලීමට විරුද්ධවන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදි කියා සිටියේය.
විමර්ශන කටයුතු සියය 90ක් පමණ ඉවර වී ඇති බව පැවසූ ඔහු අධිකරණයට දැනුම් දුන්නේ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේන් ලැබු බවට ඉදිරිපත් කර ඇති ආරාධනා පත්‍රය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් සිදුවෙමින් පවතින බවය.
විමරශනයෙන් හෙළිදරවුවන කරුණු අනුව විත්තිකරුවන්ට එරෙහිව ඉහළ අධිකරණයක් හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසා සිටියේය.
පැමිණිල්ලේ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන බවට වූ කරුණු දැක්වීම සලකා බලා විදේශගතවීම සම්බන්ධව කළ ඉල්ලීම එම අවස්ථාවේ දී ඉවත් කරගන්නා බව විත්තියේ නීතිඥවරයා එම අවස්ථාවේ දී අධිකරණයට දැනුම් දුන්නේය. නඩුව ජනවාරි 28 යලි කැඳවීමට නියමිතය.







