අද උදෑසන දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් වාර්තා වූයේය. විදුලිබල ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි ප්‍රකාශ කරන ආකාරයට මේ අකරතැබ්බයට හේතුව වඳුරෙකි. පානදුරේ දී ජාතික පද්ධතියේ ට්‍රාන්ෆෝමර් එකක වඳුරෙක් ගැටීමත් සමග ඇති වූ පද්ධති අසමතුලිතතාවයක් හේතුවෙන් රට පුරාම මේ බිඳවැටීම සිද්ධ වී තිබිණි.
මේ වනවිට සියලුම බලධාරීන් කඩිනමින් පද්ධතිය යථාවත් කිරීමට පියවර ගෙන තිබේ.
බලශක්ති අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල පැවසුවේ විදුලි බල පද්ධතියේ අසමතුලිත තාවයක් නිසා මේ ආකාරයෙන් විදුලිය බිඳවැටිම වාර්තා වූ බවය.
කෙසේ වෙතත් ලංකාව පුරා ඇති වූ මෙම තත්ත්වය හේතුවෙන් ජාතික ආර්ථිකයට බරපතල අර්බුදයකට මුහුණ පාන්නට සිදුවී ඇත. ජල සැපයුම, ඉන්ධන සැපයුම්, ගුවන් ගමන්, වරාය, දුම්රිය ගමනා ගමන, මාර්ග සංඥා පද්ධති අන්තර්ජාල ක්රියාකාරිත්වයන්, රෝහල් පද්ධති ඇතුළු සමස්ථ රටේ ක්‍රියාකාරිත්වය අඩපණ වී ඇත.
දීප ව්‍යාප්ත විදුලිය බිඳවැටීම සමනය කර සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ලංවිම පද්ධති පාලන මධ්‍යස්ථානය මේ වනවිට කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.







