කීර්ති ප්‍රනාන්දු –
කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ බිම වැටී තිබියදී මුදල් පසුම්බියක් අහුලාගෙන එහි හිමිකාරිය වූ ජපන් ජාතික මහාචාර්යවරියකට සුරැකිව ලබා දීමට පියවර ගත් ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ සේවිකාවක අද (01) දින දහවල් ගුවන් තොටුපළේ දී ඇගැයීමකට ලක් විය .
මටෘනුරා ජුන්කෝ ( Matrunura Junko ) නැමැති මෙම ජපාන් ජාතික මහාචාර්යවරිය ඉකුත් 30 දා ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. ඒ , මෙරට දුර්ලභ පුස්කොළ ග්රන්ථයක් ජපන් භාෂාවට පරිවර්තනය කර ගෙන යාමටය .
එකටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඇය , ශ්‍රී ලංකාව තුළ භාවිතා කිරීම සදහා ජංගම දුරකථන සිම්පතක් ලබා ගැනීමට , ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ වූ ජංගම දුරකථන සමාගමක කාර්යාලය වෙත පිවිස ඇත.
මෙම ගණුදෙනුව සිදු වන අතරවාරයේ ඇයගේ මුදල් පසුම්බිය බිම වැටී තිබුණි . ඒ බව නොදත් මහාචාර්යවරිය එම ගණුදෙනුව නිමා කර ගුවන් තොටුපළෙන් තමන් නවාතැන් ගන්නා හෝටලය වෙත පිටත්ව ගොස් ඇත.
මේ අතරතුර ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ සේවිකාවකවන රඹුක්කන පී.පී.ස්වර්ණලතා මෙම මුදල් පසුම්බිය දැක , එය අහුලා වහාම ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
ඒ වනවිට එම මුදල් පසුම්බිය තුළ ශ්‍රී ලංකා මුදල් රුපියල් 119,390 ක් තිබී ඇති අතර , ඒ තුළ මෙම මහාචාර්යවරිය සිම්පතක් ලබා ගත් විස්තර ඇතුළත් රිසිට් පතක් ද තිබී ඇත.
ඒ ඔස්සේ එම මහාචාර්යවරිය ඇමතූ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් , ඇයට ගුවන් තොටුපළ වෙත පැමිණ තම මුදල් පසුම්බිය ලබා ගන්නා ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව ඊයේ (31) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ අවසර පත් නිකුත් කිරීමේ කාර්යාලය වෙත පැමිණ එම මුදල් පසුම්බිය භාර ගත් ජපන් මහාචාර්යවරිය , මෙම පසුම්බිය අහුලා භාර දුන් ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ සේවිකා පී.පී.ස්වර්ණලතාට සහ ගුවන් තොටුපළ ආරක්ෂක අංශයේ නිලධාරින්ට ත්‍යාග පිරිනමමින් ඇගැයීමකට ලක් කළාය. සිය කෘතවේදීත්වය පල කළාය.







