රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ ( 22) වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබුවේය.
වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත්තේ අධි රුධිර පීඩනය සහ ශරීරයේ සීනි මට්ටම ඉහළ යෑම නිසා වෛද්‍ය නිර්දේශ මත බව අද දෙරණ වාර්තා කරයි.
ඊයේ අධිකරණයේ දී විත්තියේ නිතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට කරුණු දක්වමින් දීර්ඝ ලෙස හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය සම්බන්ධව හෙළි කළේය. 76 හැවිරිදි රනිල් වික්‍රමසිංහ වසර 7ක සිට හෘද රෝගයෙන් පීඩා විඳින බවත්, දියවැඩියා රෝගය අධි රුධිර පීඩනය ඇතුළු රෝග කීපයකට ප්‍රතිකාර ගන්නා බවත් දන්වා අධිකරණයෙන් ඇප ඉල්ලූ අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර දන්වා සිටියේ බන්ධනාගාර පද්ධතිය තුළ එවැනි රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීමේ ක්‍රමවේදයක් පවතින බවය.
දෙදිනක ස්වකීය පුද්ගලික විදෙස් ගමණක් වෙනුවෙන් රාජ්‍ය මුදල් ලක්ෂ 161ක් වැය කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාලව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියම කළේය.







