බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් හිරේ දාන්නට පෙර අධිකරණයේ සිදුවූයේ කුමක් ද?

by editor
අගෝස්තු 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

මීට ස්වල්ප වෙලාවකට පෙර මාංචු දැමූ රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර බස් රථයකින් බන්ධනාගාරය වෙත රැගෙන ගියේය. රනිල් හිරේ යෑම මේ වනවිට වෙනසක් ඉල්ලපු පිරිස් පවා කම්පනයට පත් කරන තීන්දුවක් බවට පත් කර ඇත. “ගහයි කියලා හිතුවා… හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ…” පාස්කු ප්‍රහාරයෙන් පස්සේ එහෙම කීවේ එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුය. රනිල් බන්ධනාගාරගත වීම සමාජයේ බොහෝ දෙනාට ඇති කර තිබෙන්නේ හේමසිරි ප්‍රනාන්දුට එදා ඇති කළ කම්පනය ය.

මේ ඉතිහාසගත තීන්දුව අද ප්‍රකාශයට පත් කරන්නී කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුරය. ජ්‍යේඨෂ්ඨ නීතිවේදීන්ගේ තර්ක විතර්ක විමසා බලා පැය භාගයක් කාලයක් අධිකරණය අත් හිටවූ විනිසුරුවරිය නැවත පැය 04කට පමණ කළ දීර්ඝ විමසා බැලීමකින් අනතුරුව   සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණයට ප්‍රකාශ කළේ  විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සැකකාර හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණක් විවෘත අධිකරණයේ දී ඉදිරිපත්  නොකළ බවය.

මෙම නිල සංචාරය කිසිදු අවස්ථාවක නිල සංචාරයක් බව තහවුරු කිරීමට සාක්ෂි හෝ අධිකරණය හමුවේ තහවුරුවක් සහිත ප්‍රකාශ කිරීමට නොහැකි වූ බව විනිසුරුවරිය ප්‍රකාශ කළාය.  එබැවින් සැක කරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත්, ඉදිරි දිනයේ දී මෙම සංචාරය නිල සංචාරයක් ලෙස ලිපි වෙනස් කර සකසා ඇති ද යන්න කඩිනම් විමර්ශනයක් කර වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අනුෂ ප්‍රේමවර්ධන අධිකරණයට කරුණු දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රෝගාතුරව සිටින බව කීවේය. ඔහුගේ බිරිය රෝගාතුරව සිටින බව කීවේය. ඔහු ඉදිරි දින කීපයේ ඔහු ඉන්දියාවේ සමුළුවකට සහභාගී වීමට සිටින බව කීවේය. ඔහුගේ ආරක්ෂාව සම්බන්ධව ගටලුවක් ඇති බව පැවසුවේය. රෝගී ප්‍රතිකාර විධි බන්ධනාගාරගත වුවද සැපයිය හැකි බව කී විනිසුරුවරිය අවශ්‍ය වන්නේ මෙම සංචාරය රාජ්‍ය සංචාරයක් ද, පෞද්ගලික සංචාරයක් ද යන්න පැහැදිලි කිරීම බවත් එය වහාම පැහැදිලි කරන ලෙසත් විත්තිය දැනුම් දුන්නේය.

නාමල් රාජපක්ෂ,  දිනේෂ් ගුණවර්ධන, නවීන් දිසානායක, මහින්ද යාපා අබේවර්ධන, මෛත්‍රීපාල සිරිසේන, රිෂාඩ් බදියුදීන්, නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රසන්න රණතුංග, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, අනුර ප්‍රියදර්ශන යාපා, ගයන්ත කරුණාතිලක, දුමින්ද දිසානායක ඇතුළු දේශපාලකයින් රැසක් රනිල් බන්ධනාගාරයට රැගෙන යන තෙක් අධිකරණ භූමියේ රනිල් තනි නොකර සිටියහ.  එදා පක්ෂ විපක්ෂ භේදය දක්නට නොලැබිණි. සියල්ලන්ම එක මිටටය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

නඩු විභාගයේ දී නීතිඥවරු සිදුකළ කරුණු දැක්වීම
රජයේ නීතිඥවරු

අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පිරීස් හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුවේ සැකකාර රනිල් වික්‍රමසිංහ 2023 වසරේ සැප්තැම්බර් 22-23 දෙදින තුළ රජයේ අරමුදල් ලක්ෂ 166ක් භාවිතා කරමින් පුද්ගලික සංචාරයක නිරත වී ඇති බවය. ඔහු මෙසේ කරුණු දැක්වීම ආරම්භ කළේය.

ස්වාමීනි. සාක්ෂිකරුවන් 33ක ගෙන් පමණ ප්‍රකාශ ලබා ගත් පසුව මේ රටේ අටවන විධායක ජනාධිපතිවරයාව ප්‍රමාණවත් සාක්ෂි මත අත් අඩංගුවට ගෙනයි අධිකරණයට ඉදිරිපත් කරන්නේ.

2023.09.13 දින සිට 20 දක්වා මොහු කියුබාවේ සහ ඇමරිකාවේ නිල සංචාරයක නිරත වෙලා තියෙනවා. ඒ සංචාරයට ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු 10ක් සහභාගී වෙලා තියනවා.

හැබැයි මොහු එංගලන්තයට යන්නේ වුල්ෆ් හැමිල්ටන් විශ්වවිද්‍යාලයේ මොහුගේ බිරිඳගේ ගෞරව උපාධි ප්‍රධානෝත්සවයට. උපාධි ප්‍රධානෝත්සව තිබිලා තියෙන්නේ 22 හා 23. මේ දවස් දෙකට ලක්ෂ 166ක මුදලක් රජයේ අරමුදල්වලින් වියදම් කරලා. “ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ මෙම පුද්ගලික සංචාරය පිළිබඳව කරුණු ඇතුළත් කර තිබූ ලේඛන පසු අවස්ථාවක දී නිල සංචාරයක් බවට සටහන් කරමින් කවුරුන් හෝ වෙනස් කර ඇති බවය. අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙසේ කීවේය.

“ මේ විමර්ශනවලට අදාල පළමු ලේඛන ලැබෙන්නේ 2023 අගෝස්තු 16. ඒ ලේඛන තුළ මෙය පුද්ගලික සංචාරයක් බව සඳහන් වෙනවා. පසුව ලේඛන කීපයක් ලැබෙනවා. ඒ 2023 නොවැම්බර් 12 සහ දෙසැම්බර් 11 වැනිදා කාලය අතරතුර. ඒ ලේඛන තුළ මේ සංචාරය නිකම්ම නිකම් සංචාරයක් කියලා සඳහන් වෙනවා. “

“සංචාරය ගිහින් ආවට පස්සේ තමා ලේඛන වෙනස් වී තිබෙන්නේ මෙය නිල සංචාරයක් බවට. ඒ තුළින් මෙය නිර්මාණය කරපු ලිපියක් බව පැහැදිලි වෙනවා. මේ ලේඛන කවුරුන් හෝ වෙනස් කරලා. “

බංකොලොත් රටේ මුදල් වියදම් කර ඇති හැටි

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සංචාරය සඳහා මුදල් වියදම් වී ඇති ආකාරය  සම්බන්ධව ද පැහැදිලි කිරීමක් සිදුකළේය.

“රට බංකොලොත් කියලා ශ්‍රේෂ්ඨාධීකරණය හමුමේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් විභාගයට යන අතරතුර තමා එවකට හිටපු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෙම සැකකරු මේ සංචාරය ගිහින් තියෙන්නේ රජයේ අරමුදල් ලක්ෂ 166ක් වියදම් කරලා. මේ  සංචාරයේ දී වාහන කුලී ලක්ෂ 45ක්, ආහාර පාන සඳහා ලක්ෂ 3ක්, නවාතැන් සඳහා ලක්ෂ 34ක්, අමුත්තන්ගේ පරිහරණයට පවුම් 600ක්, වශයෙන් යොදවලා තියනවා. “

“කෙසේ වෙතත් ස්වාමීනී… මෙම සංචාරයට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලක්ෂ 132ක් දීලා තියනවා. ශ්‍රී ලංකා පොලිසියෙනුයි නාවික හමුදාවෙනුයි ලක්ෂ 32ක් දීලා තියනවා. මේ ආකාරයට තමයි මේ ලක්ෂ 166ක මුදල ලැබී තියෙන්නේ. කියුබාව සහ ඇමරිකාවේ නිල සංචාර ඉවර කරලා මෙයා ලන්ඩනයේ හෝටලේක නවතිනවා.”

“හැබැයි උපාධි ප්‍රධානෝත්සවය තිබීමට නියමිතව තිබූ අදාල විශ්වවිද්‍යාලය ලඟ නවාතැන් ගන්න හැකියාව තිබිලා. එහෙම තිබෙද්දි තමා මොහු ලන්ඩනයේ ලැන්ඩ් මාක් හෝටලයේ ඉඳලා තිබෙන්නේ. “

“ජනාධිපතිවරයා කියන්නේ රජයේ මුදල්වල භාරකරු මිසක් අයිතිකරු නොවෙයි. ඔහුට මේ ආකාරයට රජයේ මුදල්, ජනතාවගේ මුදල් අවභාවිතා කරන්න බෑ.”

පුද්ගලික ලේකම්වරියේ සාක්ෂිය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික ලේකම්වරිය වූ සැන්ඩ්‍රා පෙරේරාගේ ප්‍රකාශයෙන් අදාල සංචාරය නිල සංචාරයක් නොවූ බව පැවසූ බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්  දිලීප පීරිස් අධිකරණයේ දී අනාවරණය කළේය.

“මේ සිද්ධිය සම්බන්ධව සැකකරුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. ඇය එම සංචාරය නිල සංචාරයක් නොව පුද්ගලික සංචාරයක් බවට රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ නෑ කියලා ප්‍රකාශ ලබා දෙමින් කිව්වා. “

“ඒ වගේම ඇය පසුව එය නිල සංචාරයක් නොව, පුද්ගලික සංචාරයක් බව දැනගත් බව ද ප්‍රකාශ ලබා දෙමින් කිව්වා. මේ සැකකරුගේ පුද්ගලික ලේකම්වරිය ඒ ප්‍රකාශ දෙන්නේ. පුද්ගලික ලේකම්වරියත් මේ සංචාරයට ගියා. “අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කීවේය.

මෙම නිල සංචාරයට මුදල් අනුමත කිරීම එවකට හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සිදුකර ඇති බව පැවසූ  අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ ඔහුට විදෙස් ගමන් තහනම් ලබා ගැනීමට අපේක්ෂා කරන බවය.

ඇප ලබා දීමට විරෝධය පලකරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පැවසුවේ සැකකරුට එරෙහිව ඇති චෝදනා පොදු දේපල පනත යටතේ ගැනෙන බැවින් ඇප ලබා දීමට සුවිශේෂී කරුණු අවශ්‍ය බවය.

“ මේ අවස්ථාවේ මේ සැකකරුට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු නැහැ. පොදු දේපල පනත යටතේ ඇප ලබාදීමට සුවිශේෂී කරුණු අවශ්‍යයයි.  මේ නඩුව සාමාන්‍ය අපරාධ නඩුවක් ලෙස සලකන්න කියලා මම ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා.  මෙහි අපරාධමය චෝදනා තියනවා. නීතිය හැමෝටම පොදු විය යුතුයි. රාජ්‍ය මුදල් මේ ආකාරයෙන් වියදම් කිරීම සුදුසු නෑ ස්වාමීනී. මේ මහජන මුදල් අවභාවිතාවක්. කොහොමද පුද්ගලික සංචාරයකට නිල සංචාරයක් බව පවසා මෙහෙම මුදල් ගන්නේ.“

“ මේ සැකකරු ඔහුගේ ප්‍රකාශයෙන් කියනවා ඒක නිල සංචාරයක් නෙමෙයි, පුද්ගලික සංචාරයක් කියලා. ස්වාමීනි. විමර්ශන අවසන් නෑ. තවත් සැකකරුවන් අත් අඩංගුවට ගන්න තියෙනවා. යුක්තියේ දෙවඟන ඇස් වසාගෙන ඉන්නවා වගේ ඔබතුමියත් තරාතිරම නොබලා ඉදිරිපත් වී ඇති කරුණු පමණක් සලකා බලා තීන්දුවක් ලබා දෙන්න” අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය ඉදිරියේ ඉල්ලා සිටියේය.

හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කළ ඉල්ලීම

සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතඥ අනුජ ප්‍රේමරත්න ඇප ඉල්ලීම සිදුකරමින් මෙසේ පැවසුවේය.

“මේ විමර්ශනය ආරම්භ කරලා තියෙන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ලේකම්වරයා සිදුකළ පැමිණිල්ලකට අනුව. අද මේ නඩුව දාන්න පුලුවන් වුණෙත් මේ සැකකරු ජනාධිපති වෙලා ඉන්නකොට ජනාධිපතිවරුන්ගේ මුක්තිය අයින් කරපු නිසා.”

“නමුත් මෙහෙම නඩු දාන්න බෑ. මේ  නඩුව සම්පූර්ණයෙන්ම ද්වේශ සහගත නඩුවක්. පැමිණිල්ල හරියට හොයලා නෑ මේ ආරාධනාව ආපු ආකාරය පිළිබඳව. “

“මේ ආරාධනය එංගලන්තයේ තානාපති කාර්යාලය හරහා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා තමා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම නිල සංචාරයක් එංගලන්තේ. “

“මොහු වයස අවුරුදු 76ක පුද්ගලයෙක්. දීර්ඝ ගුවන් ගමන් යන්න බැරි නිසා තමයි එංගලන්තයේ ට්‍රාන්ස්සිට් එකක් විදිහට භාවිතා කරලා තියෙන්නේ. “

“මොහු වසර 7ක සිට හෘද රෝගයෙන් පීඩා විඳිනවා. දියවැඩියා රෝගය අධි රුධිර පීඩනය ඇතුළු රෝග කීපයකින් පීඩා විඳිනවා. පළමු වරට අද මේක කියන්නේ. කවුරුත් දැනගෙන හිටියෙ නෑ මේක. මොහුගේ බිරිඳ පිළිකා රෝගියෙක්.  මොහුට දරුවන් නෑ. ඔවුන් දෙදෙනාට ඉන්නේ ඔවුන් දෙදෙනා පමණයි. ඇයගේ සියලු කටයුතු කරන්නේ මොහු. “

“මොහුට අනිද්දා ඉන්දියාවේ කොමන් වෙල්ත් යූත් සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට තිබෙනවා. බන්ධාගාරය කියන්නේ හිටපු ජනාධිපතිවරයෙකුට ආරක්ෂිත ස්ථානයක් නොවෙයි. සුදුසු කොන්දේසියක් මත මගේ සේවා දායකයා ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා. “ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අධිකරණ කටයුතු පැය භාගයකට අත් හිටවූයේය.

විනිසුරුවරියගේ තීන්දුව

පැය 4කට පසු විනිසුරුවරිය සිය දීර්ඝ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කරුණු ගණනාවක් අවධානයට ලක් කරනු ලැබුවාය.  එහි ප්‍රධානම කරුණක් වූයේ මෙහි සඳහන්වන පොදු දේපල පිළිබඳ නීතිය ය. පොදු දේපල පිළිබඳ කරුණක දී ඇප ලබා දීමට නම් සුවිශේෂී හේතු දැක්විය යුතු බවත් එවැනි හේතු දැක්වීමක් මෙහිදී සිදු නොවුන බවත් විනිසුරුවරිය දන්වා සිටියාය.

මේ අවස්ථාවේදී අධිකරණය අවධාරණය කළේ විදේශීය ආයතනයකින් හෝ තානාපති කාර්යාලයකින් ලැබුණු ආරාධනා පත්‍රයක් ලැබුණ බවට   අධිකරණයේ මේ අවස්ථාව සටහන්වන තෙක් අධිකරණයේ සටහන් වී නැති බවත් දැනට මේ සිද්ධිය පිළිබඳව ලබාගෙන ඇති සාක්ෂි සටහන් 38න් එක් තැනකවත් එය සටහන් නොවුන බවත් රජයේ නීතිඥවරු පෙන්වා දී ඇති අයුරුය. එබඳු තත්ත්වයක් තුළ මෙම ලිපිය පිළිබඳත් සොයා බැලිය යුතු බව අධිකරණයේ ස්ථාවරය විය.

හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන්වූයේය. අධිකරණයේ මතය වූයේ එවැනි රෝගී තත්ත්වයක් තිබේ නම් බන්ධනාගාරය තුළ අදාල ප්‍රතිකාර ලබා දීමට කිසිදු බාධාවක් නොමැති බවය. අධිකරණය තීන්දුව ලබා දුන්නේ මේ සියලු කරුණු ප්‍රකාශයට පත් කරමිනි.”

ආපහු හැරෙන්න බැරි තැනක

දැන් ආණ්ඩුව ආපහු හැරෙන්නට නොහැකි තැනකට පැමිණ ඇත්තේය. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විෂයෙහි හැසිරීම නීතියේ සමානත්වය ආරක්ෂා කිරීම සඳහාම කළ උත්තම සද් ක්‍රියාවක් බව ස්වකීය පැවැත්මෙන් තහවුරු කිරීමේ අභියෝගය දැන් මාලිමා ආණ්ඩුව වෙත ඇත. මෙතැන සිට නීතිය වඩාත් තීව‍්‍රවර ක්‍රියා කිරීමට සමාජය බල කරනු ඇත්තේ මාලිමා දේශපාලකයින් විෂයෙහි.

මේ වනවිට ආන්දෝලනයට ලක් වෙමින් ඇති අමාත්‍ය වසන්ත සමරසිංහ විෂයෙහි සමාජය කළඹන චෝදනාවක් එල්ල වී ඇත. ඔහුගේ නඩු කටයුතු විමසන ගල්කිස්ස අධිකරණයේ විනිසුරුවරයා මාරු කිරීම සම්බන්ධව ද චෝදනා තිබේ. රවී සෙනවිරත්න ආරක්ෂක ලේකම්වරයාට චෝදනා කප්පරකි. බේබද්දෙක් ලෙස හැසිරී සිදුකළ රිය අනතුර සම්බන්ධ නඩු කටයුත්තට කුප්ප බලපෑම් කරන බව කියන චෝදනාව ද ජනතා අධිකරණයේ තිබේ. මේ වනවිට මාලිමා ආණ්ඩුවට බරපතලම චෝදනාව එල්ල වී ඇත්තේ විදුලිබල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි සම්යබන්ධවය.

මිනිස්සුන්ගේ සැඟවුන කුපාඩිකම් ඇත්තේය. එම ජඩකම් ජන්මයෙන් එන දේය. මොන අධ්‍යාපනයකටවත්, මොන සමාජ ශික්ෂණ පරිසරයකින්වත් උන්ව හදන්නට හැකි වන්නේ නැත. මාලිමාවටත් එය අදාලය.  පරම පවිත්‍ර පාරිශුද්ධ මිනිසුන් කොතැනත් නැත. අවශ්‍ය වන්නේ   වරදක් කරන සියල්ලන්මට දඬුවම් දීමට ඇකි ප්‍රතිපත්තිමය පදනමය.  ඇමතිවරු කුපාඩිකම් කරන්නේ නම් පක්ෂ කාඩර කම අමතක කර කනෙන් අල්ලා අධිකරණයට දැක්කීමත් කරන්නට හැකි පෞරුෂය ය. එය ඇත්නම් මේ ආණ්ඩුව අප සිහින මැවු සමාජ පද්ධතිය බිහිකිරීමට සමත් වනු ඇත.

මේ හොරු ඇල්ලීම දේශපාලන නාඩගමක ලාබ තිර පිටපතක් කිරීම හෝ ඓතිහාසික සමාජ පරිවර්තනයක නියත සලකුණු තැබීම  තීන්දු කරනු  ඇත්තේ ආණ්ඩුවේ ඉදිරි හැසිරීමය. සාධාරණ දේශපාලන හැසිරීමක් නොපෙන්වන ඕනෑම අවස්ථාවක සුනාමි රළ සේ නැගෙන මහජන විරෝධය මේ ආණ්ඩුවත් ඉතිහාසයේ කුණු කූඩුවට එක්පෙ කිරීමේ අවකාශයක් තිබේ.  එම ව්‍යසනය සඳහා මේ වනවිට බියපත් වී සිටින දේශපාලකයින් කොන්දේසි විරහිතව එකතුවීමට සූදානම් බව අප දැක්කේ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ දී ය. බියපත් වූ මිනිස්සු තුළ උපදින ප්‍රචණ්ඩත්වය අතිශයින්ම බිහිසුණුය. එයට පිළිතුරු දිය හැක්කේ නීතියට තමන් ද යටත් බව පෙන්වන බලවත් තැනකට නීතිය ඔසවා තැබීමෙන් පමණය.  ඒ ව්‍යසනය සඳහා ඇති සියලු මං ලකුණු වසා දැමීම ආණ්ඩුවේ වගකීමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉතිහාසයේ මුල්ම වතාවට විධායක ජනාධිපතිවරයෙක් රක්ෂිත බන්ධනාගාරත වෙයි… රනිල් 26 තෙක් රිමාන්ඩ්!

Next Post

රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති රනිල් බන්ධනාගාර රෝහලට…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.