-
සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ සේවය අත්හිටුවා විමර්ශන ඇරඹෙයි… වාහන 05ක් ගැන තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කරයි….
කිසිම වලංගු නීතියක් නොතකා යාලේ අයාලේ ගොස් මදාවිකම් කළ කණ්ඩායම සමග කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරගේ පුත්‍රයෙක් ද සිට ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි.
නිලධාරීන්ට නිසි ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිව තිබූ බාධකය මෙම පුත්‍රයා බවද එම ආරංචි මාර්ග හෙළි කරයි.
කෙසේ වෙතත් මේ වනවිට විදේශගත වී සිටින ඇමතිවරයා අමාත්‍යාංශ ලේකම්වරිය වූ චන්ද්‍රා හේරත් වෙත දන්වා ඇත්තේ මෙම කණඩායම අතර සිටි පුද්ගලයන් කවරෙක් වුවද තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට දැනුම් දෙන ලෙස බව අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම මේ මදාවිකමට ඉඩ හැරිය සංචාරක මඟපෙන්වන්නන් හා නිලධාරීන්ට එරෙහිව දැනට දියත් කර ඇති විමර්ශනය අවසන් වන තෙක් ඔවුන්ගේ සේවය අත්හිටුවන ලෙස ද වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් නියෝග කර තිබේ.
ලේකම්වරිය පවසා ඇත්තේ මෙවැනි සිදුවීමක් සිදුවන්නේ නම් එම නිලධාරින්ට ඊට මැදිහත්වීමට හෝ ඉහළ නිලධාරින්ට දැනුම් දීමට හැකියාව තිබුනත් ඔවුන් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොතිබුණ බවය.
මෙවැනි සිද්ධි නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා ඊයේ අදාල නිලධාරින්ට උපදෙස් දී ඇත.
ඒ යටතේ මෙවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන පුද්ගලයින් හා වාහන නැවත වනෝද්‍යානවලට ඇතුල්වීම වැළැක්වීම සඳහා ඔවුන් කළු ලැයිස්තුවට ඇතුළත් කිරීම වැනි වැඩ පිළිවෙළක් ඇරඹීමටත්, එවැනි කටයුත්තක් සිදු කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ප්‍රමාණවත්දැයි සොයා බලන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය නම් වනජීවි හා වෘක්ෂලතා පනතට අවශ්‍ය සංශෝධන පවා ඉදිරිපත් කළ හැකි බවත් අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබේ.
කෘෂිකර්ම අමාත්‍යවරයා මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි පැවැත්වෙන USSEC රැස්වීමට සහභාගිවීමට විදේශ ගත ව සිටියත් ඊයේ (24) මේ සම්බන්ධ සියලු පාර්ශ්ව හා සම්බන්ධ වෙමින් මෙම සිද්ධිය සම්බන්ධව අවශ්‍ය පියවර ගැනීම සඳහා කටයුතු කළ බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.







