දිනසේන රතුගමගේෙ
යාපනයේ නාවන්තුරේ ක්‍රීඩාංගණයේ පැවති පාපන්දු තරගාවලියක් අතරතුර දෙපිලට අයත් ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයන් 9 දෙනෙකු තුවාල ලබා 17දා රෝහල් ගත කොට තිබේ.
මුලින්ම මෙම ගැටුම හටගත් අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ සිද්ධිය යථා තත්ත්වයට පත් කොට ඇත.
පසුව දෙවන අවස්ථාවේදී ඉතා බිහිසුණු ලෙස මේ දෙපිරිස එකිනෙකාට පහර දී ගත් අතර එම ප්‍රහාර සඳහා ක්‍රීඩාංගණයේ තිබූ යකඩ කොටස්ද වීදුරු බෝතල් කඩා එම කොටස්ද ප්‍රයෝජනයට ගෙන තිබේ.
පාපන්දු තරගය නැරඹීමට පැමිණ සිටි නාවන්තුරේ ප්‍රාදේශීය ලේකම්වරයා වහාම මේ පිළිබඳව දැනුම් දීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් පැමිණ සිද්ධිය සමථයකට පත් කළද යළිත් වරක් ක්‍රිඩාංගණයෙන් පිටතදී මේ දෙපිරිස රාත්‍රී කාලයේදී මහපාරේ එකිනෙකාට පහර දීගෙන තිබේ.
මෙම ගැටුම නිසා පපන්දු තරගයද නතර කිරීමට සිදු වූ අතර තරුණයන් දෙපිරිසම රාත්‍රියේදී මහ පාරේ ගුටි ඇණගත් අවස්ථාවේදී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති අතරපහර දීමට යොදාගත් වීදුරු හා බෝතල් කටු විසිරී යාම නිසා මාර්ගය අවදානම් සහගත තත්ත්වයකට පත්ව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන නාවන්තුරේ පොලිසිය තරුණයන් 14 දෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කරගෙන යයි.







