දිනසේන රතුගමගේ
යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේදී පිරිසක් විසින් ගස් බැද පහර දී ඝාතනය කළ 19 හැවිරිදි පෙම්වතියගේ 54 හැවිරිදි පෙම්වතාගේ මරණය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය විසින් තවත් සැකකරුවන් දෙදෙනෙකු 8 දා අත් අඩංගුවට ගෙන තිබේ.
මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් හය දෙනා චුන්නාකම් පොලිසිය විසින් මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව අගෝස්තු මස 22 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
චුන්නාකම් ප්‍රදේශයේ රා අලෙවි කරන නිවසකට දෙදරු පියෙකු වූ සංගවේලී ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මරියදාස් ජෙගදාස් නැමැත්තා නිතර නිතර යාමට පුරුදු වී සිටි අතර එහිදී ඔහු නිවසේ සිටි 19 හැවිරිදි තරුණියක් සමග ප්‍රේම සබදතාවයක් ගොඩනගාගෙන තිබේ.
පවුල් දෙකේම පිරිස මේ සම්බන්ධයට විරුද්ධ වීමත් සමගම ඔවුන් දෙදෙනා ගම්මානයෙන් පලා ගොස් වෙනම ස්ථානයක ජීවත් වී ඇත.
ඥාතීන් විසින් ඉතා උපක්‍රමශීලීව ඔවුන් දෙදෙනාව ආපසු ගමට කැඳවා ගස් බැද පහර දීම හේතුවෙන් 54 හැවිරිදි ජගදාස් නැමැති අය බරපතළ තුවාල ලැබූ අතර ඔහුව රෝහල් ගත කිරීමෙන් පසුව මිය යන ලදී.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ චුන්නකම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මුලින්ම හය දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පසුව ලද තොරතුරු මත තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පහර කෑමට ලක් වූ තරුණියද මේ වන විට යාපනය තෙලිප්පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
චුන්නාකම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







