ලලිත් චාමින්ද –
යක්කලමුල්ල මා ගෙදර කරුවලගල ප්‍රදේශයේදී අද (19)පෙරවරු 11.10ට පමණ කුරුදු වාඩියක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් සිව් හැවිරිදි දරුවකු හා තවත් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.
මියගොස් ඇත්තේ කුරුඳු වාඩිය තුළ කුරුදු තලමින් සිටි වෙඩික්කරුගේ සමන් කුමාර (33)නැමැති අයෙකි. ඌරගහ ප්‍රදේශයේ සිට යතුරුපැදියකින් පැමිණි තිදෙනකු විසින් ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර ඔහු මිනීමැරුම් නඩුවක සැකකරුවෙකු බව පොලිසිය පවසයි. මොහු යක්කලමුල්ල කරුවලගල ප්‍රදේශයේ කාන්තාවක් සමග විවාහ වී ඇත.
මිය ගිය පුද්ගලයා අසල නිවසක කුරුදු තලමින් සිට තිබේ. එම අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි තිදෙනා මොහුට වෙඩි තබා ඇත. ඒ අසල සිටි සිව් හැවිරිදි දරුවෙකුට සහ තිස් වියේ පසුවූ අයෙකුට ද වෙඩි වැදී ඇති බව පොලිසිය පවසයි.
සිව්හැවිරිදි දරුවාගේ උදරයට වෙඩි වැදී ඇති අතර එම දරුවා වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇත .
තුවාල ලබා ඇත්තේප එච් අනුස් හසරැලි නැමැති දරුවෙකි. එම දරුවාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. දරුවා ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
අනිත් පුද්ගලයාගේ පාද වලට වෙඩි වැදී ඇති බව ද පොලිසිය පවසයි. පාතාල කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
යතුරු පැදියෙන් පැමිණි තිදෙනා මෙම වෙඩි තැබීමෙන් පසු මාර්ගයේ ගමන් කරමින් සිටි යතුරුපැදිකරුවෙකු බියවද්දා ඔහුගේ යතුරු පැදියත් රැගෙන පලා ගොස් ඇති බව පොලිසිය පවසයි .
සිද්ධිය වූ ස්ථානයේ තිබී ටී 56 උණ්ඩ දෙකක් සොයා ගත් බවද පොලිසිය කියයි.
යක්කලමුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි .







