මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සි කලාපවල මෙවර යල කන්නයේ වී අස්වනු සියයට විස්සක පමණ ප්‍රමාණයක් වී අස්වනුත් නෙලා අවසන් වුවද වී අලෙවි මණ්ඩලය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිසිදු ගබඩාවක් මෙතෙක් විවෘත කර නැති බවත් පුද්ගලික මෝල් හිමියන්ට තමන් සූරා කන්නට ඉඩදී බිහිසුණු ජීවිත අපරාධයක් සිදුවන විටත් කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් මේ පිළිබඳව අසංවේදී වීම සම්බන්ධව උපදින්නේ දැඩි කලකිරිමක් බවත් මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් අද (04) වැලිකන්ද මොනරතැන්න වෙල්යායේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.

ගොවියාට වී ගොවිතැන කරුමයක් වී ඇති ආකාරය පෙන්වා දුන් ගොවීහු වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වර්තමානයේ මිල ගණන් අනුව රුපියල් 102 ත් 105 ත් අතර වියදමක් දැරීමට සිදුවුවද, රුපියල් 100කට වී කිලෝවක් විකුණා ගත නොහැකි මට්ටමක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන්හ.
සේනපුර කොට්ඨාශයේ ගොවි සංවිධානයේ හිටපු සභාපති කපිල සිරිල් පතිරණ කීවේ ජනාධිපතිවරණයක් මුව විටේ දිබෙද්දී අඩුම තරමින් තමන්ගේ ඡන්දය පිළිබඳ අපේක්ෂාවෙන්වත් මේ බරපතල ජීවිත ගැටලුවෙන් පීඩා විඳින මිනිස්සු සම්බන්ධව අසංවේදී වීම මේ රටේ පාලකයින්ගේ ප්‍රමාණය තේරුම් ගැනීමට හොඳම අවස්ථාවක් සලසන බවය.
මෙවර සමස්තයක් ලෙස මහවැලි බි කළාපයේ ගොවි පවුල් 25,000 කට ආසන්න ප්‍රමාණයක් අක්කර 65,000 කට වැඩි ප්‍රමාණයක් වී වගා කර තිබෙන බවත්, ඉන් අක්කර 19,000 ක ප්‍රමාණයක් කීරි සම්බා වගාකර ද ඒවා මිලදී ගැනීමට කිසිදු පෞද්ගලික වෙළෙන්දෙක් හෝ ඉදිරිපත් නොවීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. අස්වැන්න යහපත් වූ විට වස කා මිය යන්නට සිදුවන ගොවීන් සහිත ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව ගොවීහු පැවසූහ.
බැංකු වලට ණය වී, වී වගා කළ ගොවියාට ණය ගෙවා ගැනීමට නොහැකි මට්ටමට පත්ව ඇති ආකාරයට ලෝකයේ කිසිම ගොවියෙක් ව්‍යසනයට පත් වන්නේ නැති බව මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළ සෙවනපිටිය කොට්ඨාසයේ හිටපු ගොවි සංවිධාන සභාපති ජයලත් ගුණසිංහ සිය අවේගය පිට කරනු ලැබුවේ දෙනෙත්හි පුරවා ගත් කඳුළුත් සහිතවය.
රජය වී මිල සම්බන්ධව තවදුරටත් නිහඬ පිළිවෙතක් අනුගමනය කළහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන 153 ක ගොවි නියෝජිතයින් සහ ගොවීන් එක්ව ඊට නිසි පිළිතුරක් ලබාදෙනු ඇති බවද ජයලත් ගුණසිංහ මෙහිදී වැඩිදුරටත් කීවේය.







