නිසි අනුමත කිරීම් ක්‍රියාවලිය කඩිනම් කරවන්නේ නම් දින කිහිපයක් තුළ සූර්ය බලශක්තිය මෙගවොට් 20කට ආසන්න ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බව සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ සභාපති කුෂාන් ජයසූරිය මහතා පවසයි. වහළ මත සවි කරන ලද සූර්ය බල කට්ටල ගණනාවක් මේ වනවිට සියලුම තාක්ෂණික පිරිවිතර සම්පූර්ණ කර ජාතික විදුලි පද්ධතිය වෙත සම්බන්ධ කිරීමේ අනුමැතිය ලැබීමේ අවසන් පියවර කිහිපය අතර රැඳී පවතින බවත් එම අනුමත කිරීම් ක්‍රියාවලිය කඩිනම් කළහොත් ඉතා කෙටි කලක් තුළ මෙම මෙගවොට් 20ක පමණ ප්‍රමාණය ජාතික පද්ධතියට එක් කරගත හැකිවන බවත් ඔහු සඳහන් කළේ ලංකාසර මේ පිළිබඳව කරන ලද විමසීමකදීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කුෂාන් ජයසූරිය මහතා සඳහන් කළේ එය දැනට පවතින දැඩි බලශක්ති අර්බුදය හමුවේ ජාතික පද්ධතියට සුළු හෝ සහනයක් ලබා දෙන පියවරක් වනු ඇති බවය.
එහිදී තවදුරටත් අදහස් දැක්වු සූර්ය බළශක්ති කර්මාන්ත සංගම් සභාපතිවරයා “ මේ වනවිට රටේ වහළ මත සවි කරන ලද සූර්ය බල ඒකක මගින් මෙගවොට් 480ක විදුලිය ධාරිතාවක් ජාතික පද්ධතිය කෙරෙහි ලබා දෙනවා. ඊට අමතරව බිම සවි කළ සූර්ය කට්ටල මඟින් මෙගවොට් 100 ක පමණ ධාරිතාවක් ලබා දෙනවා. නමුත් පසුගිය වසර දෙකක පමණ කාලය තුළ සූර්ය බලශක්තිය සම්බන්ධයෙන් කිසිදු තීරණාත්මක ප්‍රගතියක් ඇති වුණේ නෑ. මේ සම්බන්ධයෙන් යම් පියවරක් ගත්තා නම් මේ වනවිට පුනර්ජනනීය විදුලිය අපේ ජාතික පද්ධතියට මිට වඩා වැඩි ප්‍රතිශතයක් එකතු කිරීමට හැකියාව තිබුණා. නමුත් හේතුව අපි දන්නේ නැහැ. පසුගි වසර දෙක තුළ කිසිදු ප්‍රගතිශිලි දෙයක් සිදුවුණේ නෑ”
දැනට සියලු ඉදිකිරීම් අවසන් කර ඇති වහල මත සූර්ය කට්ටල ගණනාවක්ම අදාළ අනුමත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ නොවීම නිසා ජාතික පද්ධතියට සම්බන්ධ නොවී තිබෙනවා. එය බොහෝ විට සිදුව ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය අභ්‍යන්තරයේ පවතින විවිධ අංශ අතර සම්බන්ධිකරණය පිළිබඳ ද ප්‍රශ්න නිසා. මේ අර්බුදය පවතින මොහොතේ තවත් මෙම ක්‍රියාවලිය කඩිනම් කළහොත් අපට ඉතා ඉක්මනින් ඒවා ජාතික පද්ධතියට එකතු කළ හැකියි” යයිද ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.