සුමිත් පොතුපිටිය –
මියගොස් ඇති කාන්තාවක නමින් වෙනත් කාන්තාවකට ලියවිල්ලක් නිකුත් කලැයි ග්‍රාම නිළධාරී වරයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.
කළුතර තේක්කවත්ත ග්‍රාම නිළධාරී වසමේ මේ වනවිට රාජකාරි කරන ග්‍රාම නිළධාරී වරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
සැකකරු වස්කඩුව, මිල්ලගහන්දිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් 52 හැවිරිදි වියේ පසුවන බවත් සඳහන් වේ.
සැකකාර ග්‍රාම නිළධාරී වරයා 2021 වර්ෂයේ කළුතර ප්‍රාදේශයේ වෙනත් ග්‍රාම නිළධාරී වසමක රාජකාරි ආවරණය කරමින් සිටියදී මියගොස් ඇති කාන්තාවකගේ නමට ඇය ජීවත්ව සිටී බව සඳහන් කරමින් මුස්ලිම් දේවස්ථානයක මව්ලවි වරයෙකු අමතා ලිපියක් නිකුත්කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
එසේ නිකුත් කළ ලිපිය රැගෙන ගිය කාන්තාව එම ලිපිය ඉදිරිපත් කර වෙනත් පුද්ගලයකුට හිමිකම් ඇති කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ ඉඩමක කොටසක් වෙනුවෙන් ව්‍යාජ ඔප්පුවක් සකස්කර ගෙන ඇති බවද පොලිසිය සදහන් කරයි.
ලිපිය නිකුත් කල කාන්තාව තමා නොදන්නා බවත්, කුඩා දරුවන් දෙදෙනෙකු කැටුව පැමිණ ඉල්ලා සිටිමෙන් පසු ලිපිය නිකුත් කළ බවත් ග්‍රාම නිළධාරී ගේ ප්‍රකාශ වලින් හෙළිව ඇති බවද පොලිසිය පවසයි .
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .







