අද පෙරවරුවේ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට පෙරවරුවේ ඇතුළු වූ බවට චෝදනා කරමින් ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති, ලේකම් ඇතුළු සාමාජිකයින් 10ක් අත් අඩංගුවට ගැනීමට කොටුව පොලිසිය කටයුතු කළේය.
අත් අඩංගුවට ගත් පිරිස අතර මිනීමරු සීසර්ලා විසින් පසුගිය වසරේ ජූනි මස 06 වැනිදා නුවර දී පහර දී ඝාතනය කළ ජාලිය නැමැති තරුණයාගේ පියාත් සිටින බව ද, තමන්ට පහර දීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත රැගෙන යන බව ද එම අවස්ථාවේ දී එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය සජීවි වීඩියෝවක් මගින් ප්‍රකාශ කළේය..
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 09 දෙනෙක් වූයේය.
තැන්පත් කරුවාගේ පොලී අනුපාතය සියයට 8ක් වී තිබිය දී ලීසිං පොලීය සියයට 28ක් බවත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් නැත්තටම නැති කළ මෙම පොලී අනුපාතය අඩු කර පනත් සංශෝධනය කරන ලෙසත්, අනීතිකව වාහන පැහැර ගැනීම නැවැත්වීමට කටයුතු කරන ලෙස මෙන්ම මිනීමරු ලීසිං සමාගම්වලට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් මෙම විරෝධතා කරුවෝ ඉල්ලා සිටියහ.
ඔවුන් පැවසුවේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබුවේ වසර දෙකක් තිස්සේ කළ ඉල්ලීම්වලට කිසිම ප්‍රතිචාරයක් මහබැංකුව පාර්ශවයෙන් නොලැබීම හේතුවෙන් බවය.
ලීසිං සමාගම් සමග එක් වී පොලිසි නීතිය සහ බලය අවභාවිතා කරන බව පැවසූ විරෝධතාකරුවෝ පසුගිය මාසය තුළ පමණක් වාහන හය දහසක් පමණ අනීතිකව පැහැර ගෙන ඇති බව කීහ.
“ අපි කිසිම අනීතික ඇතුළු වීමත් බලහත්කාර ඇතුළුවීමක් කළේ නෑ. රජයේ ආයතනයකට සාමාන්‍ය පුරවැසියො ලෙසයි ආවේ. ඒ සම්බන්ධව තහවුරු කළ හැකි වීඩියෝ අප සතුව තිබෙනවා. අපට ගහලා අත්අඩංගුවට ගත්තා. පහුගිය අවුරුද්දේ ජූනි 08 වැනිදා සීසර්ලා ගහලා මරපු ජාලියගෙ තාත්තත් මෙතන අත් අඩංගුවේ ඉන්නවා. මිනී මරපු සීසර්ලා ට ලීසිං ආයතනවලට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි පොලිසිය තමයි අද අපි අත්අඩංගුවට ගත්තේ… මේ සියලුම අනීතික ක්‍රියාකාරකම් සම්බන්ධව පොලිසියට එරෙහිව මානව හිමිකම් නඩු පවරනවා… අවුරුදු දෙකක් මිනිස්සු මැරුණා. අවුරුදු දෙකක් මේ සටන කළා. අවසානයේ මතෙන්ට ආවේ… “
මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත් වී සිටින ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති නීතිඥ අසංක රුවන් පොතුපිටිය පැවසුවේය.







