කීර්ති ප්‍රනාන්දු –
සිංහල අවුරුද්ද හැමෝටම කලින් එන ගම්මානයක් තිබේ. ඒ මිනුවන්ගොඩ යාගොඩමුල්ල පාරම්පරික රසකැවිලි නිශ්පාදන ගම්මානය ය. ගමට අවුරුදු කතාව එන්නේ අඩුම තරමින් අවුරුද්දකට මාසෙකට කලිනි. ඒ අවුරුදු කැවිලි සඳහා ඇනවුම් ලෙසය.
මහා පරිමාණ රසහල්වල සිට කුඩා සිල්ලර කඩ දක්වා කැවිලි අලෙවි කරන්නන් ද අවුරුදු මුල් කරගත් උත්සව වෙනුවෙන් ද යාගොඩමුල්ල ගමට ඇනවුම් එන්නේ අවුරුද්දක් ජීවත් වීමේ බලාපොරොත්තුව ද ඒ ගැමියන් තුළ ඇති කරවමිනි.
එහෙත් මේ සැරේ යාගොඩමුල්ලෙන් ඇසෙන්නේ වෙනස් කතාවකි. මෙවර අලුත් අවුරුදු සමය තුළ රස කැවිලි අලවිය විශාල ලෙස පහත වැටී ඇතැයි මිනුවන්ගොඩ යාගොඩ මුල්ල පාරම්පරික රස කැවිලි ගම්මානයේ වෙළෙන්දෝ පවසති.

වෙනත් වසර වල සිංහල හින්දු අලුත් අවුරුදු සමය ආරම්භ වන්නටත් පෙර සිටම විවිධ රස කැවිලි සඳහා ඇනවුම් ලැබුණු බවත් මෙවර එම කිසිදු ඇනවුමක් නොලැබුණු බවත් ඔවුහු කියති. .
රස කැවිලි නිෂ්පාදන මිල ඉහළ යාම සහ පාරිභෝගික ජනතාවගේ අයහපත් ආර්ථික තත්ත්වය රස කැවිලි අලවිය බිඳ වැටීමට හේතු වූ බවද ඔවුහු පවසති .
විශේෂයෙන් රස කැවිලි නිෂ්පාදනයේදී යොදා ගන්නා පාන් පිටි ,හාල් පිටි, සීනි, කජු, රුළං, තල, පොල්තෙල් , පොල් , මුං ඇට , මිල විශාල ලෙස ඉහළ යාමත් විදුලි සහ ඉන්ධන මිල ඉහළ යාම රස කැවිලි නිෂ්පාදන මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව වූ බවද රස කැවිලි නිෂ්පාදකයෝ පෙන්වා දෙති.
මෙසේ නිෂ්පාදන මිල ඉහළ ගියත් පාරිභෝගික ජනතාවට පවතින ආර්ථික පීඩනය නිසා තම රස කැවිලි අලෙවි කර ගැනීමට නොහැකි වේ යැයි යන සැකය මත රස කැවිලි වර්ගවල මිල විශාල වැඩි කිරීමක් නොකර සිටීමට තමන් වග බලා ගත් බවද ඔවුහු කියති. එහෙත් පලක් නැත. කැවිලිවලට ඉල්ලුමක් නැත.
ඈත අතීතයේ පටන්ම මෙරට පාරම්පරික රස කැවිලි නිෂ්පාදන ගම්මානය ලෙස හැඳින්වෙන්නේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යාගොඩමුල්ල ග්‍රාමය ය. පාරම්පරිකව රස කැවිලි නිෂ්පාදනය කරමින් අලෙවි කරන පවුල් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් යාගොඩමුල්ලේ එම කර්මාන්තයේ නියැලී සිටිති. විශේෂත්වය එයය.
කැවුම්, කොකිස් ,දොදොල් වර්ග , මස්කට වර්ග ,රුලං, අළුවා , කිරි අලුවා , මුං කැවුම් , ගල් මස්කට් , පොල් කේක් , බිබික්කං , ඇතුළු පාරම්පරික රස කැවිලි වර්ග විශාල ප්‍රමාණයක් මෙම ගම්මානයේ රසකැවිලි නිශ්පාදකයන් අතින් නිශ්පාදනය වේ. එම රස කැවිලි සඳහා රට පුරා පැවතුනේ විශාල ඉල්ලුමකි.
මෙම පාරම්පරික රස කැවිලි ගම්මානයේ අප කළ සංචාරයේදී හමු වුණු පාරම්පරික රස කැවිලි වෙළදුන් කීප දෙනෙක් සිය අදහස් මෙසේ ප්‍රකාශ කළහ.

ඩී.ඩී. පියරත්න
“ඇත්තටම රස කැවිලි අලවිය විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා .පාරිභෝගික ජනතාවගේ ආර්ථික ශක්තිය අඩුවීම නිසා තමයි රස කැවිලි අලවිය අඩුවෙන්න ප්‍රධානම හේතුව. පහුගිය අවුරුදුවලත් අලෙවිය ගොඩක් අඩුයි. මේ වසරේ රස කැවිලි අලවිය එකට එකක්ම අඩු වෙලා ගියා . අපේ කැවිලි වර්ග අරගෙන පොලේ යන වෙළඳුන් පවා කියනවා බිස්නස් හොඳටම වැටිලා කියලා .”
“පහුගිය අවුරුදුවල මේ වෙනකොට විශාල වශයෙන් රස කැවිලි වර්ග වලට ඇනවුම් ලැබුණත් මේ වනවිට ඒ ඇනවුම් ලැබෙන්නේ නෑ . මේ වෙනකොට අපේ රස කැවිලි නිෂ්පාදන වියදමත් විශාල වශයෙන් ඉහළ ගොස් තියෙනවා. නමුත් අපි රස කැවිලි මිල වැඩි කළේ නෑ මොකද එහෙම වුනොත් මේ තියෙන බිස්නස් එකත් අඩු වෙන නිසා.”
“ ජනතාවට තියෙන ආර්ථික අපහසුතා නිසා තමයි රස කැවිලි අලවිය අඩු වෙලා තියෙන්නේ . තත්ත්වය මෙසේ පැවතුනොත් රස කැවිලි නිෂ්පාදන කර්මාන්තය බිඳ වැටීමට පුළුවන් . අපි පරම්පරා ගත රස කැවිලි නිෂ්පාදකයින් උනත් අපේ පවුල්වල අලුත් පරම්පරාව මේ තත්ත්වය මත රස කැවිලි නිෂ්පාදන කර්මාන්තයෙන් ඈත් වෙන්නත් පටන් අරන්.” ඔහු කීවේය.
ඩබ්ලිව් .ඩී. පද්මසිරි
කැවිලි අලවිය හොඳටම අඩු වුනා. අපිත් කෑම හදන එක ගොඩක් අඩු කලා . ඒ හදන රස කැවිලි ටිකත් විකුණ ගන්නේ හරිම අමාරුවෙන් .
අපෙන් රස කැවිලි අරන් ගිහින් විකුණන සිල්ලර සහ තොග වෙළදුන් ඉන්නවා .ඒ අයත් දැන් කෑම වර්ග මිලදී ගන්නවා අඩුයි මොකද ඒ අය කියන්නෙත් අලෙවිය අඩු නිසා ගෙනියන කැවිලි වර්ග ඉතුරු වෙනවා කියලා. රස කැවිලි මිලදී ගන්න ජනතාවට සල්ලි නැහැ . රස කැවිලි අලෙවිය අඩු වෙන්න ප්‍රධානම හේතුව ඒකයි . අපි කැවිලි වර්ගවල මිල වැඩි කළේ නෑ . එදා තිබුණු මිලමයි තාම තියෙන්නේ .
වෙන වසර වල සිංහල අලුත් අවුරුදු කාලේ වෙනකොට අපට බිස්නස් හොඳටම සරුයි . මේ සැරේ හදාගත්තු රස කැවිලි ටිකත් විකුණා ගන්නේ කොහොමද කියලයි අපි කල්පනා කරන්නේ . රජයෙන් අනිත් හැම කර්මාන්තයකටම මොනවා හරි සහනයක් දුන්නත් අපේ පාරම්පරික රස කැවිලි නිෂ්පාදන කර්මාන්තය කරගෙන කිසිම සහනයක් දීලා නැහැ .
එව්. ඩී. ඥානවතී –
මම පාරම්පරිකවම රස කැවිලි හදන කාන්තාවක්.
අදටත් මමයි මගේ දරුවොයි එකතුවෙලා කරන්නෙත් රස කෑවිලි කර්මාන්තය ම තමයි . මීට ඉස්සර මේ වගේ උත්සව කාලයක් එනකොට අපිට විශාල ලෙස රසකැවිලි ඕඩර් හම්බෙනවා . සිංහල අවුරුදු කාලෙට මට කැවුම් ,කොකිස් ,අතිරස, මුං කැවුම්, අළුවා, ඉල්ලලා විශාල වශයෙන් ඕඩර් හම්බෙනවා. නමුත් මේ පාර එහෙම නෑ.
ඒ වගේම දොදොල් වර්ග , මස්කට් වර්ග හොඳට විකිණෙනවා . නමුත් අද එහෙම නැහැ . එදා කිලෝ එක ගත්තු මිනිස්සු අද ගන්නේ ග්‍රෑම් 100, 200, 250 වගේ පොඩි ප්‍රමාණයක්. ඒකට හේතුව තමයි බඩු ගන්න මිනිස්සු අතේ සල්ලි නැතිකම.
අපි රස කැවිලි කර්මාන්තය පවත්වාගෙන යන්නෙත් හරිම අමාරුවෙන්. රස කැවිලි හදන්න ගන්න අමුද්‍රව්‍ය මිල අපට දරාගන්ඩ බැරි තරමට වැඩි වෙලා. අපේ කර්මාන්තය කරන අයට අමුද්‍රව්‍ය ටික ගන්න කිසිම මිල සහනයක් නෑ .රජයවත් මැදිහත් වෙලා අපේ අමුද්‍රව්‍ය මිල පහත දාලා දුන්නොත් අපේ කර්මාන්තයත් අපේ දරු පවුලුත් රැකගෙන පාරිභෝගිකයන්ට අඩු මිලට රසකැවිලි ටික දෙන්න පුළුවන් .
ඒ නිසා රජය අපේ කර්මාන්තකරුවන් ටික රැක ගන්න කටයුතු කරන්න කියලා අපි රජයෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මේ අවුරුද්ද තුළ අපේ පාරම්පරික රස කැවිලි ගම්මානේ අයට මුහුණ දෙන්න වෙලා තියෙන දුක් හිත තත්වය ලබන වසරේ වෙන්ඩ ඉඩ තියන්න එපා කියලා අපි රජයේ බලධාරීන්ගෙන් ඉල්ලනවා .







