සූරියවැව නුවන් ජයසේකර
අගුණුකොළපැලැස්ස මුරවැසිහේන ප්‍රදේශයේ පදිංචි පියෙකු විසින් කලක සිට මානසික ආබාධයකින් පෙළෙන සිය පුත්‍රයාට කෘමි නාශක වර්ගයක් පොවා පියාද වස පානය කර ඊයේ 14 දින සවස සියදිවි නසාගෙන ඇතැයි අගුණුකොළපැලැස්ස පොලිසිය කියයි.
මෙලෙස වස පානය කිරීමෙන් මියගොස් ඇත්තේ 50 හැවිරිදි පියෙකු හා 25 හැවිරිදි පුතෙකි.
සිය පුත්‍රයා කලක සිට මානසික අබාධයකින් පෙලී ඇති අතර පියා විසින් ඒ සඳහා අවශ්‍ය ප්‍තිකාරද නිතර සිදුකර තිබේ.14 දින පෙරවරුවේද පියා සිය පුත්‍රයා රැගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට ගොස් ප්‍රථිකාර ලබා ගැනිමෙන් පසු යළි පස්වරුවේ නිවසට පැමිණ තිබේ.
සවස පියත් පුත්‍රයාත් නිවසේ සිටියදි මව හා දියණිය ආගමික කටයුත්තක් සඳහා අසල විහාරස්ථානයකට ගොස් ඇත. එම අවස්ථාවේදි පියා විසින් සිය පුත්‍රයාට බළහත්කාරයෙන්ම කෘමි නාශක වර්ගයක් පොවා පියාද එම කෘමි නාශක වර්ගය පානය කර සිය දිවි නසාගෙන තිබේ.
මව හා දියණිය නිවසට පැමිණෙන විට පිය පුතු දෙදෙනා වස පානය කර සිටිනු දැක අසල්වැසියන්ගේද සහාය ඇතිව අගුණුකොළපැලැස්ස රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් සිට ඇත.
මියගිය 50 හැවිරිදි පියා අගුණුකොළපැලැස්ස නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන අතර පුත්‍රයාගේ මානසික ආබාධය නිසා පවුලේ අය දැඩි පසුතැවිල්ලෙන් පසු වු බවද අසල්වැසියන් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්නගේ උපදෙස් පරිදි අගුණුකොළපෑලැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







