එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති යුද ගැටුම්වල දී සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් උල්ලංගණයන් විමර්ශනය කිරීම සඳහා යෝජිත කවරාකාරයේ හෝ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසි වාරය අමතමින් අවධාරණය කළේය.
ශ්‍රී ලංකා වේලාවෙන් අද (08) පස්වරුවේ දී සමුළුව ඇමතූ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ප්‍රතිචාර දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලියට කැපවී සිටින්නේ දේශීය යාන්ත්‍රණයක් හරහා පමණක් බවය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝල්ටර් ටකර් ශ්‍රි ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වීම සම්බන්ධ නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවීම ඇතුළු බරපතල චෝදනා රැසක් සහිතව කළ වාර්තාවට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සිය කතාව කළේය.
රටේ නෛතික ක්‍රියාවලිය සහ නඩු පැවරීම් සම්බන්ධවත් නව සමාජ ප්‍රතිසංස්කරණවල ස්වරූපය සම්බන්ධවත් පැහැදිලි කරමින් අමාත්‍ය විජිත හේරත් පැවසුවේ නීතිපතිවරයා චෝදනා ගොනු කරන්නේ පැහැදිලි මූලික නඩුවක් ඇති විට පමණක් බව අවධාරණය කළේය. නඩු පැවරීමේ අභිමතය සීමා රහිත නොවන බව කී අමාත්‍යවරයා එම නෛතික ක්‍රියාවලිය අධිකරණ සමාලෝචනයට සම්පූර්ණයෙන්ම යටත් වන බවත් සහතික කර කිවේය.
නීතිපති කාර්යාලය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ “සෘණාත්මක නිරූපණය” ප්‍රතික්ෂේප කළ විදේශ ඇමතිරයා එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රටට කරන අසාධාරණයක් බව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලීන් ස්වාධීන සහ විශ්වසනීය බව අවධාරණය කළේය.
ගැටුමෙන් පසු වගවීම සහ සුවපත් කිරීම සඳහා දිගුකාලීන ඉල්ලීමක් නැවත පණ ගන්වමින් රජය සත්‍ය සහ සංහිඳියා කොමිසමක් (TRC) පිහිටුවන බව අමාත්‍යවරයා තවදුරටත් නිවේදනය කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වූ පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයට (OMP) රුපියල් මිලියන 375 ක අතිරේක මුදලක් වෙන් කර ඇති බවත්, එය පරිපාලනය සඳහා “විශේෂ ප්‍රමුඛතාවයක්” බවත් ඔහු කීවේය.
පුළුල් නීති ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ගෙනහැර දක්වමින් විදේශ ඇමතිවරයා කීවේ මතභේදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ත්‍රස්ත විරෝධී පනතක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවය. මහජන අදහස් විමසීමෙන් පසු මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන සකස් කරමින් පවතින බව ඔහු තහවුරු කළේය. ඇමතිවරයා කීවේ ගෘහස්ථ හිංසනය, ළමා අයිතිවාසිකම් සහ ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ නීති කෙටුම්පත් දැනටමත් සිදුවෙමින් පවතින බවය.
සංහිඳියාව අරමුණු කරගත් සංකේතාත්මක අභිනයකින්, ප්‍රජාවන් හරහා ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය 2025 දෙසැම්බර් මාසයේදී පළමු වරට “ශ්‍රී ලංකා දිනය” සමරන බව ද අමාත්‍යවරයා නිවේදනය කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිගත් නමුත් කනස්සල්ල ද මතු කළ මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා අවධාරණය කර කියා සිටියේ ප්‍රතිසංස්කරණ දේශීය වශයෙන් මෙහෙයවනු ලබන බවය.
ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය වැනි “බාහිර යාන්ත්රණයන්ට” එරෙහිව අනතුරු අඟවන බව කී විදේශ ඇමතිවරයා එම බලපෑම් මානව හිමිකම් සාධනය අරභයා සිදුවන සැබෑ ජාතික උත්සාහයන් අඩපණ කරනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට දන්වා සිටියේය.







