මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් මත්ද්‍රව්‍ය සහ අයුධ සොරකම් කර විකිණීමේ ජාවාරමක් සම්බන්ධව පුද්ගලයින් 05 දෙනෙක් අත් අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කටයුතු කර තිබේ.
විශේෂත්වය වන්නේ මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනාගෙන් තුන් දෙනෙක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේම සේවය කරන තරුණ බහු කාර්ය සංවර්ධන නිලධාරීන් විමය. අනෙක් දෙදෙනාගෙන් එක් අයෙක් ගොවියෙකි. පස්වැනියා ධීවර බෝට්ටු හිමිකරුවෙකි.
මෙම ජාවාරම හෙළිදරව් වන්නේ මෙසේය.
පසගිය ජූලි මස 12 වැනිදා මාතර අධිකරණ රෙජිස්ට්‍රාවරිය විසින් මාතර පොලිසිය වෙත පැමිණිල්ලක් ගොනුකරමින් අධිකරණ නඩු භාණ්ඩ ගබාඩවේ තිබුණු හොරොයින් පාර්සල් දෙකක් අතුරුදහන් වී ඇති බවට මාතර පොලිසියට පැමිණිල්ලක් කරන්නීය.
ඒ සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් සිදුකළ පොලිසිය විසින් නොවැම්බර් 23 වැනිදා අධිකරණයේ සේවය කරන බහු කාර්ය නිලධාරීන් දෙදෙනෙක් අත් අඩංගුවට ගන්නේය. එම එක් නිලධාරියෙකුගේ වයස අවුරුදු 21කි. අනෙක් නිලධාරියා අවුරුදු 29කි.
මේ පුද්ගලයින්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්නකිරීම්වලදී හෙරොයින් ජාවාරම සිදුකළ ආකාරය හෙළිවනවා පමණක් නොව නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ආයුධ සොරකමක් සම්බන්ධවත් හෙළි වන්නේය.
ආයුධ සොරකම සම්බන්ධව නිමිත්ත මතුවන්නේ පසුගිය අගෝස්තු මස 17 වැනිදා මාතර දික්වැල්ලේ කළ වෙඩි තැබීමක දී වෙඩි තැබීමට භාවිතා කළ ටී. 56 ගිනි අවිය හමුවීමත් සමගය. අවිය අගොස්තු 18 වැනිදා විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන කළ විමර්ශනයක දී එහි අනු අංකය ප්‍රකාරව එය පොලිසිය සතු ගිනි අවියක් බව හෙළි විය.
විමර්ශනවලදී එම ගිනි අවිය නඩු කටයුත්තක් සඳහා මාතර අධිකරණයට භාර දුන් බවත් මේ වනවිට ගිනි අවිය ඇත්තේ අධිකරණ භාරයේ බවත් අනාවරණය වූයේය. අධිකරණයෙන් ගිනි අවිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ දී ගිනි අවිය නඩු භාන්ඩ ගබඩාවෙන් අතුරුදහන් වී ඇති බව හෙළි විය.
හෙරොයින් සොරකමට සමන්ධයෙන් අත් අඩංගුවට ගත් නිලධාරීන්ගෙන් ඒ සම්බන්ධවත් ප්‍රශ්න කරන විට මෙම ටී 56 ගිනි අවිය පමණක් නොව, රිවෝල්වරයක් ද සොරකම් කර අලෙවි කිරීමේ සිද්ධියක් අනාවරණය විය.
ගිනි අවි සොරකම සම්බන්ධව මාතර අධිකරණ පරිශ්‍රයේ සේවය කරන තවත් බහුකාර්ය සංවර්ධන නිලධාරියෙක් අත් අඩංගුවට ගැනුණි.
ඔහු විසින් සොරකම් කළ රිවෝල්වරය විකිණීම සඳහා අතරමැදියා ලෙස කටයුතු කරමින් සිටියේ අත් අඩංගුවට ගත් කණ්ඩායමේ සිටින ගොවිතැන් කරන පුද්ගලයා ය. එම රිවෝල්වරය මිල දි ගෙන තිබුනෙ ධීවර බෝට්ටු හිමිකරු විසිිනි.
මෙම රිවෝල්වරය අලෙවි කර තිබුණේ රුපියල් දෙලක්ෂ අසූ දහසකටය.
සිද්ධිය සම්බන්ධව මාතර අපරාධ විමර්ශන කොට්ඨාසය දීර්ඝ වශයෙන් පරීක්ෂණ පවත්වයි.