මාතර බන්ධනාගාරය තුළ ඊයේ (22) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටින රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරීමට අද (23) උදෑසන පියවර ගෙන තිබේ.
මාතර බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් දෙදෙනෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට විරෝධය පළ කරමින් මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් පිරිසක් ඊයේ රාත්‍රී 8ට පමණ බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණි.
ඇතිවූ තත්ත්වය සමග බන්ධනාගාරයේ ඉහළ ආරක්ෂක කුටිවල බන්ධනාගාර නිලධාරීන්ට ගල් – මුල්වලින් පහරදීමට රැඳවියන් කටයුතු කිරීමත් සමග තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරින් අහසට වෙඩිතබා තිබුණි.
මෙම කලහකාරී තත්ත්වයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බව මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිට මහතා පැවසීය.
රාත්‍රී 8ට පමණ ඇතිවූ තත්ත්වය පාලනය කර තිබියදී නැවතත් මධ්‍යම රාත්‍රිය ආසන්න වනවිට රැඳවියන් කලහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාරය තුළ තිබු දේපොළවලට හානි කිරීමට පටන්ගෙන තිබූ අතර බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලීසිය කැඳවා තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාරය තුළට කඳුළු ගෑස් ප්‍රහාර දෙකක්ද අහසට වෙඩිතැබීම් ද සිදුකර ඇත.
මෙම තත්ත්වය තුළ බන්ධනාගාරය තුළ සිටි කාන්තා රැඳවියන් 25 දෙනෙකු ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කිරිමට ද බන්ධනාගාර නිලධාරින් කටයුතු කර තිබේ.
අද අලුයම වනවිට බන්ධනාගාරය තුළ තත්ත්වය සම්පුර්ණයෙන් පාලනය කොට තිබු අතර බන්ධනාගාරයේ ගබඩා කාමරය හා ස්ථාන කිහිපයක් කඩා දමා ඇතැයි බන්ධනාගර ආරංචි මාර්ග පවසයි.
මාතර, ගාල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන්ම අමතර පොලිස් කණ්ඩායම් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කැඳවීමටද, ගිනි නිවන හමුදාවේ භටයින් සීරුවෙන් තැබීමට ද පියවර ගෙන තිබුණි.
මෙම කලහකාරි තත්ත්වයෙන් කිසිඳු රැඳවියෙකුට තුවාල හෝ ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බවට බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ඒ හේතුවෙන් රැඳවියන්ගේ ඥාතීන් ඒ පිළිබඳව කලබල වියයුතු නැති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. (දෙරණ)







