අසේල කුරුළුවංශ –
මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර ගලපිටියට (ජාතික ජනබලවේගය) පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුදුහුම්පොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මහනුවර පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ගොඩනැගිලි ඉදි කිරීම් උපකරණ කුලියට ලබාදෙන සුදුහුම්පොළ ප්‍රදේශයේ පිහිටි ස්ථානයක පරාල ඇතුළු භාණ්ඩ තොගයක් පදික වේදිකාව අවහිර වනසේ තිබියදී නගර සභාවේ වැටලීම් අංශයට දැනුම් දී ඒවා ඉවත් කිරීමට කටයුතු කළේ යැයි උරන වී ව්‍යාපාරිකයා උප නගරාධිපතිවරයාට මෙම පහරදීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
සුදුහුම්පොළ ප්‍රදේශයේ පැවැති දානමය පිංකමකට සහභාගි වීම සඳහා ගොස් සිටියදී පෙරේදා (25) පස්වරුවේ මෙම පහරදීම සිදුකර තිබෙන අතර සිද්ධියෙන් පසු උප නගරාධිපතිවරයා මෙන්ම ව්‍යාපාරිකයාද ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත්ව තිබේ.
උප නගරාධිපතිවරයා තමන්ට පහර දුන් බවට ව්‍යාපාරිකයාද පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
බන්ධනගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සැකකරු මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.







